asela-court

කොරෝනා වයිරසයෙන් හා කොවිඩ් - 19 ආසාදනය වීමෙන් වැළකීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය
කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද අනුමත කොට ඇති එන්නත් ලබාදීමට කටයුතු කරන නමුදු,
කිසිදු අයකුට එය බලහත්කාරයෙන් ලබාදීමට හෝ ලබාගැනීම අනිවාර්ය කිරීමට හෝ කිසිදු නියෝගයක් නිකුත්
කොට නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ඊයේ (15දා)
ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

එම ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය කියා සිටියේ, කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රධාන හා එකම බලධාරියා වනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් රටේ සමස්ත ජනතාවගේම සෞඛ්‍යාරක්ෂාව මෙවැනි අවදානම් සහගත අවස්ථාවන්හිදී ඔහුගේ වගකීම බවට පත්වන බවත් කියා සිටියාය.



එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න හා අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය
මණ්ඩලය හමුවේ ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරිය එසේ කියා සිටියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන්
කරුණු දක්වමිනි.

කොවිඩ් -19 එන්නත වයස 18න් පහළ අය අතර ද එන්නත් කිරීම අනිවාර්ය කිරීම මඟින් මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය වීමක් සිදුවන බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා වෛද්‍යවරියක් වන ධරණි රාජසිංහම්, රජිකා
සේනානි සෙනෙවිරත්න හා නිර්මාල් හරින් ප්‍රනාන්දු යන තිදෙනා විසින් එම පෙත්සම ගොනුකොට තිබිණි.

ඔවුන් ප්‍රකාශකොට ඇත්තේ ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 14 (1) (g) හා 14
(1) (h)  යන වගන්තීන්ගෙන් සහතික කොට ඇති මූලික අයිතීන් මෙමඟින් උල්ලංඝනය වන බවය.



ජනාධිපති නීතිඥ කේ. කනග් ඊශ්වරන් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වීය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියත්,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඇතුළු පිරිසක් නම්කොට තිබිණි.

විනිසුරු මඬුල්ල තීරණය කරන ලද්දේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් මූලික කරුණු විමර්ශනය කළ යුතු බැවින් එය යළි ලබන ජනවාරි මස 15 වැනි දින කැඳවන ලෙසය.


කමල් මහේන්ද්‍ර වීරරත්න