වත්තේගම පොලිස් වසමේ පට්ටියතැන්න ප්‍රදේශයේ කුකුළු ගොවිපොළකට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගිය 49 හැවිරිදි පුතාගේ මළ ගෙදර පැමිණි 78 හැවිරිදි මවද එහිදී මියගොස් ඇතැයි වතේම පොලිසිය කියයි. විදුලි රැහැනේ පැටලීමෙන් මියගොස් ඇත්තේ එස්.එම්.ජී. නිලංග සමන්ත කුමාර සුබසිංහ (49) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
සිය පුතුගේ මරණයෙන් කම්පාවට පත්ව මියගොස් ඇත්තේ මැණික්හින්න පොලිස් වසමේ පදිංචි එම්.ජී. මැගිලින් නෝනා (78) නමැති මව බව පොලිසිය කියයි. ඇයගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ තෙල්දෙණිය දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය අනුරුද්ධ මහතා මරණයට හේතුව පෙණහැලේ ලේ කැටියක් සිරවීම නිසා සිදුවූවක් බවට සිය අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් නිගමනය කර ඇත.
ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි විමර්ශනය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ පාතදුම්බර උඩගම්පාන කෝරළේ හදිසි මරණ පරික්ෂක ඩබ්.එම්. නෝමන් කොස්තා මහතා මරණයට හේතූව පෙනහැලේ ලේ කැටියක් සිරවීමෙන් සිදුවූවක් බවට තීරණය කරනු ලැබීය.
කුකුළු ගොවිපොළට අනවසරයෙන් නීති විරෝධී ලෙස විදුලිය සැර යෙදූ රැහැන් සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්කම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් පස් දෙනෙකු තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජනවාරි 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. විදුලි සැර වැදී මරණයට පත්වූ පුතුගේ මෘත දේහය අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට යොමු කිරිමෙන් අනතුරුව අධිකරණ නියෝග මත මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. සුබ්‍රමනියම් මහතා ඒ පිළිබද මරණ පරීක්ෂණය සිදු කළේය.
-ජේ.ඒ.එල්. ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval