ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේදී ආගමික අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වූ සිදුවීම පිළිබඳ අලුත් විස්තර කිහිපයක් දැන් වාර්තාවී ඇත. පොලිසිය පවසන්නේ ප්‍රියන්ත සේවය කළ රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කම්හලේ සේවකයින් කිහිපදෙනෙකුට අමතරව බාහිරින් පැමිණි දැඩි මතධාරී Tehreek-e-Labbaik Pakistan (TLP) ඉස්ලාම් සංවිධානයේ පිරිසක් මෙම ඝාතනයට සෘජුව සම්බන්ධවී ඇති බවයි.
ප්‍රියන්ත සේවය කළේ ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන  පාකිස්තානු ඇඟළුම් කම්හලකය. පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්තාන කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය කළේද මෙම කම්හල බව කියැවිණි. වසර 07 කට ආසන්න කාලයක් ඉතා යහපත් පරිපාලනයක් පවත්වා යමින් ප්‍රියන්ත එහි සේවය කළ නමුත් වරින්වර අන්තවාදී අදහස් ඇති අය නිසා ප්‍රශ්න මතුව තිබූ බව කියැවේ.


ඔහු මුස්ලිම් විරෝධියෙකු නොවූ නමුත් රාජකාරී ස්ථානය ආගමීකරණයට ලක්කිරීම නොරිස්සූ බව පැවසිණි.
සිද්ධිය වූ දිනයේ කුරාන වාක්‍ය කොටා තිබූ දැඩි මතධාරී Tehreek-e-Labbaik Pakistan (TLP) පෝස්ටරයක් ​​ඉරා කුණු බක්කියට විසි කළ බවට ප්‍රියන්තට චෝදනා එල්ලවී ඇත. ඔහුගේ කාර්යාලයට යාබද බිත්තියේ ඉස්ලාමීය පක්ෂයේ පෝස්ටරය අලවා තිබුණි. ඔහු පෝස්ටරය ගලවා විසිකරනු කම්හල තුළ සේවකයන් කිහිප දෙනෙකු දැක ඇති අතර ඔහු මීට පෙරත් ආගමික පෝස්ටර සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවේචන සිදු කළ අයෙකු නිසා පෝස්ටර ඇළවූ අයට ඔහු ගැන කෝපය තීව්රවී ඇත.

අනතුරුව සේවකයින්ගේ උසිගැන්වීම අනුව සිකුරාදා පල්ලි යාම් නිමකර එහි පැමිණි පකිස්තානයේ වියරු වැටුණු ආගමික අන්තවාදී මැර පිරිසක් කම්හල වටකර තිබේ. ප්‍රියන්ත එළියට ගත යුතු බවට ඔවුන් කෑ ගසා ඇත. එම අවස්ථාවේ ආරක්ෂකයින්ට පාලනය සිදුකරගන්නට බැරි වී ඇති අතර පොලිසිය කැඳවීමට හෝ වෙනත් පියවරක් ගන්නට ඇතුලේ පිරිස් ඉඩදී නැත.
පිටට යාමට නොහැකිව සිරවූ ප්‍රියන්ත අසරණවී ඇත. බලහත්කාරයෙන් ඇතුළට ආ අය විසින් ප්‍රියන්ත ඇදගෙන එලියට ගෙනයන්නේ ඉන් පසුවයි.

අනතුරුව පාරේදී ප්‍රියන්තව බිමට දමාගෙන පිරිස පාගා දමති, එහිදී සිය ගණනක් ඔහුගේ ඇඳුම් ඉරා දැමීමටත්, ඔහුට දරුණු ලෙස පහර දීමටත් පටන් ගත්හ. ඔහුට වධ හිංසා පමුණුවා, පසුව ඔහුගේ සිරුර පුළුස්සා දමන ලදී. සමූහයා ඔහුගේ පිලීස්සෙන සිරුර සමඟ සෙල්ෆි ගන්නා ආකාරය ද වීඩියෝ වලින් දැක ගත හැකිය.
 බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ශ්‍රී ලාංකික සාමාන්‍යධිකාරීවරයා පණපිටින් පුළුස්සා දැමුණු පසු පොලිසිය එතැනට එන අතර ඒ වනවිට සිදුවිය යුතු සියල්ල සිද්ධවී අවසන්ය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන පකිස්ථානයේ ඉස්ලාම් අධිකරණ පද්ධතිය මගින් මරණීය දණ්ඩනය නියම කළ හැකි අපරාධයක් ලෙස ‘ආගමික අපහාස කිරීම‘ සලකනු ලබන බවත් ප්‍රියන්තගේ සිද්ධියේදී ඔහු ප්‍රසිද්ධියේ මරාදැමීමට මෙම පිරිස නිර්භීතව ඉදිරිපත්වෙමින් එය වීඩියෝගත කර ප්‍රසිද්ධියේ සැමරීම පවා කරනු ලබන්නේ එකී නීතිය සියතට ගෙන වරදකාරී නොවන හැඟීමකින් බවත් විස්තර වේ.

මේ ආකාර ඝාතන මින් පෙරත් එම කණ්ඩායම සිදුකර ඇති බවත් එයින් වීරත්වයට පත්ව ඇති බවත් කියැවේ.
කෙසේ වෙතත් ම්ලේච්ඡ  හා ගෝත්‍රික ආකාරයට ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීම එරට අගමැතිවරයා මෙන්ම ඇමිනේස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේවනවිට හෙළාදැකතිබේ.



40 හැවිරිදි වියේ පසුවූ ප්‍රියන්ත කුමාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඉංජිනේරු වෘත්තිකයෙකි.ඔහු මීට පෙරත් ඇඟළුම් කර්මාන්ත ශාලා ආශ්‍රිත වෘත්තීන්හි නියැළුණ අතර පකිස්තානයේ
ලාහෝර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි සියල්කොට් දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියේය.
සිකුරාදා සියල්කොට් හි වසිරාබාද් පාරේ දී මෙම සිදුවීම සිදුවිය.
ශ්‍රී ලාංකිකයාගේ දේහය වටා මිනිසුන් සිය ගණනක් එම ස්ථානයේ රැස්ව සිටින අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. ඔවුන් TLP සටන් පාඨ කියමින් සිටියහ.
ඉම්රාන් ඛාන් සිදුවීමෙන් පසුව සිය කණගාටුව පළ කළ නමුත් පාකිස්තානයේ ටෙහ්රීක් ලබයික් නමැති මෙම අන්තවාදී කල්ලියට බියවී වැඩකරන බවට චෝදනා එල්ලවී තිබේ.
ඉම්රාන් ඛාන් ආන්ඩුව TLP සමග රහසිගත ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එහි ප්‍රධානී සාද් රිස්වි සහ ත්‍රස්තවාදයේ චෝදනාවට ලක්වූ ක්‍රියාකාරීන් 1,500 කට අධික පිරිසක් සිරෙන් නිදහස් කර තිබූ බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා පළ විය. තහනම් ත්‍රස්ත කල්ලියක් ලෙස පැවති TLP කල්ලිය ඉම්රාන්ගේ ආණ්ඩුව මෑතකදී තහනම ඉවත් කර තිබීමද විශේෂිතය.
නබිතුමාට අපහාස වන ආකාරයට ප්‍රංශයේ අපහාසාත්මක කාටූන් ඇන්ද අයෙකු සම්බන්ධ ප්‍රශ්නයක්ද පසුගිය කාලයේ වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රංශ තානාපති නෙරපා හරින ලෙස TLP ඉල්ලූ විට ඉම්රාන් කාන් ඊට බියවී තානාපති නෙරපා හැරිය නමුත් පසුව තීරණය වෙනස් කළේය.
එම වෙනස්කිරීමට විරෝධය පා TLP කන්ඩායම පන්ජාබ් හි සතියක් පුරා වැඩ වර්ජනයක්ද පවත්වා තිබුණි.


පෙර විස්තරය
නබි වාක්‍ය ඉරුවැයි පාකිස්තාන ඇඟළුම් කම්හලේ සාමාන්‍යධිකාරී ප්‍රියන්ත ප්‍රසිද්ධියේ මරා පුළුස්සලා