තමන් ඇමතිය යුතු ආකාරය වෙනුවෙන් නගර සභාවේ දැන්වීම් සවි කිරීම නිසා සමාජ මාධ්‍ය අතර ‘සර්‘ යන නාමයෙන් ප්‍රකටවූ  මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න  සහ ඔහුගේ පියා වාසය කරන හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස විදුලි බල මණ්ඩලයේ පැමිණිල්ලක් මත පරීක්ෂා කළ පොලිසිය එම නිවසේ ගෘහ මූලිකයාවූ ටිරාජ්ගේ පියාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි 23 සවස වාර්තා විය.


වාර්තාවන ආකාරයට මෙය තරමක අමුතු සොයා බැලීමකි.
විශ්‍රාමික  උසස් පොලිස් නිලධාරියෙකුවූ ටිරාජ්ගේ පියාත් නගරාධිපති ටිරාජුත් හෝමාගම නිවස ඉදිරිපස ආලින්දය ආලෝකකරණය පිණිස ඉතාමත්ම දීප්තිමත් අධිබල ලාම්පු පත්තුකරන බව පැවසේ. මේවා පාරේ සවිකරන ආකාරයේ ලාම්පු වුවත් නගරාධිපතිගේ නිවසේ ආලින්දය වෙත යොමු කර තිබූ අතර පාරේ ලාම්පු නිවෙන දැල්වෙන වේලාවට නොව නගරාධිපති නිවසේ අයට කැමති වේලාවට ඒවා දල්වන බව අසල්වාසීන්ට නිරීක්ෂණයවී ඇත.
නිතිපතා සවස හයේ පමණ සිට පසුදා සවස හය දක්වා පමණ දල්වන මෙම ලාම්පු නිසා හටගන්නා අධිබල විදුලි ආලෝකය අසල්වාසී නිවාස කිහිපයකට හිරිහැරයක්වී ඇති අතර ඔවුන්ට රාත්‍රී කළුවරේ නින්දට යාමට අවස්ථාවක් නොතබාම දවාලක් මෙන් දිස්වන පරිදි මෙම ලාම්පු පත්තුකරමින් සිට ඇත.
මෙම ක්‍රියාව නතර කරන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය නතර කර නැත.
මෙවන් ලාම්පු පැය 12 ක් පමණ දල්වා තිබේ නම් විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවන බවද පෙනී ගොස් ඇත.
ඒ ආසන්නයට ගිය අසල්වැසියන් අදාළ ලාම්පුවලට වයර් ඇද ඇති ආකාරය සියුම්ව නිරීක්ෂණය කරද්දී පෙනී ගොස් ඇත්තේ හොර රහසේ විදුලිය ලබාගෙන මෙම ලාම්පු දල්වන බවයි.
මේ අනුව පොලිසියට හා විදුලි බල මන්ඩලයට අසල්වාසීන් කිහිපදෙනෙකුම පැමිණිලි ඉදිරිපත් කර ඇත.


විදුලි  කණුවලට සවිකර තිබෙන අධිබලති  විදුලි බල්බ ගැන සිදු කළ විමර්ශනයේදී මාර්ගයේ තිබෙන විදුලි කණු වලින් අධිබලති විදුලි බල්බ වලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරින් දන්වා ඇත.
 සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි  සැපයුමක් නිවසට සපයා තිබියදී
අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත්  විදුලි කණු වලින් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.