ගාල්ලේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අයවැය විවාදයට එක්වෙමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට දිගට හරහට බැණවැදීම නිසා මැතිසබයේ ඊයේ පස්වරුවේ ඇතිවූයේ උණුසුම්කාරී තත්වයකි.
මනුෂගෙන් පසුව මැතිසබය අමතා කතා කළේ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයාය. ඔහු කතාව පටන් ගත්තේද ලොකුම ලොකු චෝදනාවක් ඉදිරිපත් කරමිනි. ඔහු ඒ චෝදනාව කළේ කාටදැයි තේරුම් ගැනීමට සභා ගර්භයේ සිටි බොහෝ දෙනකුට වැඩි වේලාවක් ගත වූයේ නම් නැත.“අද මෙතැන ගාල්ල පැත්තේ කොලු පොඩ්ඩෙක් කතා කළා.
ඒ පැත්තෙ ඉන්න හරිම පිරිසුදු මිනිහා. ඒ කොලු පොඩ්ඩා කොච්චර පිරිසුදුද කියනවා නම් ඒ පැත්තෙන් මේ පැත්තට එන්නත් සල්ලි ගත්තා. මේ පැත්තෙන් ඒ පැත්තට යන්නත් සල්ලි ගත්තා. ඕන නම් සල්ලි එකතු කරන්න ගෙනිච්ච බෑග් එකේ පාටත් මම කියන්නම්. ඔන්න පිරිසුදු මිනිහගේ තත්වෙ.
හැම වෙලාවෙම එයාගේ අතේ නවගුණවැල. ඕවට තමයි කියන්නෙ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.” යැයි රෝහිත උපහාසාත්මක ස්වරයෙන් කියද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.
රෝහිත ඊළඟට හැරුණේ හරීන් ප්‍රනාන්දු දෙසටය. “සාමාන්‍යයෙන් මේ රටේ සාටක දාන අය ඉන්නවා. අපේ අගමැතිතුමා කුරහන් පාට සාටකයක් දානවා. එදා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයත් ඒක කළා. ඒවා අතීතයේ ඉඳලා එන දේවල්. විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් අද සාටකයක් දාගෙන ඇවිල්ලා හිටියා. ඒක කළු සාටකයක්. කළු සාටක දාන්නේ මොළේ මඤ්ඤං වුණු මිනිස්සු. දැන් මෙයා කියනවා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ අපිලු. තාත්තා ඒ ප්‍රහාරය ගැන කල්තියා කියද්දි ගෙදර බුදියගෙන හිටපු මිනිහා අපිට දැන් බණ කියනවා.” යැයි පැවසුවේ උපහාසයෙනි.
රහස් පොලිසිය එනවිට ඉස්පිරිතාලෙ හැගුණු මන්ත්‍රීවරුන් ගැන කළුතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙයට පෙර දිනෙක ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය ගැන ඊයේ මැතිසබේදී කතා කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා “අපේම පැත්තේ මන්ත්‍රීවරයෙක් මම බයේ ඉස්පිරිතාලෙ හැගුණා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මම එහෙම හැගුණේ නැහැ. මම ඉස්පිරිතාලෙට ගියේ අසනීපයකට.” යැයි පැවසුවේය.
“ඕන නම් මගේ පපුව පෙන්නන්නම්.” යනුවෙන් පැවසූ හරීන් පපුව ඇර පෙන්වීමට මෙන් උත්සාහ ගත්තේත්ය. ඊට පසු නැගී සිටියේ කුමාර වෙල්ගම ය.
“මම කාගෙවත් නමක් මෙතන කිව්වේ නෑ. තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ. හැබැයි අපි නම් කවදාවත් හැගෙන්නෙ නෑ. ඕන දේකට මුහුණ දෙනවා.” යනුවෙන් පැවසුවේ තරමක් උස් හඬිනි. හරින් ඉන් එහාට යමක් කීමට ගියේ නම් නැත.
කුරුණෑගල අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා සහෝදර මන්ත්‍රීවරියකට සිදුවූයේ යැයි පැවසෙන හිරිහැරයක් ගැන කතා කිරීමට ඉදිරිපත් වුණේ මේ විදියටය. “ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් අපේ මන්ත්‍රීවරියකට බටු ගැන කතාවක් කිව්වා. කැත කතාවක්. අපි ඒ බටු කතාව කී මන්ත්‍රීතුමාට කියන්නේ එක දෙයයි. අපි එයාට දෙන්නෙ බටු නොවෙයි දූරියන්. එයාට අපි ඉදිරියේදී දූරියන් දෙන්න බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසුවේ මඳ සිනාවක් ද පාමිනි.
අශෝකගේ ඒ දූරියන් කතාවෙන් පසුව විවාදයට එක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ද අමුතු කතාවක් කීව්වේය.
"මම නම් ඔය ඌරන් එක්ක හැප්පිලා මඩ ගාගන්න කැමති මිනිහෙක් නොවෙයි. මොකද ඌරන් එක්ක දගලලා මඩ ගෑවුණාම තෘප්තිය තියෙන්නෙත් ඌරාටම තමයි." ඩිලාන් කීවේ වටපිට බලමිනි.
ඩිලාන් ඒ කතාව කිවේ කාටදැයි තේරුම් ගැනීමට බොහෝ දෙනකුට වැඩි වෙලාවක් නම් ගත වූයේ නැත.
රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කතා කරද්දි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම බාධා එල්ල විය. මේ බාධා කිරීමට ෂෙහාන්ට කේන්ති ගියේය.
“මෙයා මොනවද මුලින් කිවේ. රැල්ලට බයනම් වැල්ලට එන්නේ නැහැ කිව්වා. ඒ විදිහටද මෙයා කටයුතු කළේ. මෙයා ගු බය මිනිහෙක්. සී.අයි.ඩී. එනකොට මිනිහා හැගුණා. ෂෙහාන් කීව්වේ මහා සද්දෙනි. හරීන්ද මොන මොනවාදෝ කියනු ඇසිණි.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval