panamure-indika-death-updates

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් නිසා පසුගිය බදාදා ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයේ කලබලකාරී තත්වයක් මතුවිය. ගම්මු සැකකළේ පොලිසියෙ අත්තනෝමතික පහරදීම් නිසා
ඉන්දික ජයරත්න නමැති 38 හැවිරිදි පුද්ගලයා මියයන්නට ඇති බවයි.
මන්ද යත් කිසිදු අසනීපයකින් හෝ මානසික පීඩනයකින් සිටි බවට තොරතුරක් නොවූ පුද්ගලයා පොලිසියේ සිටි පැය ගණන ඇතුළත වෙනස්වී එහි  සිරමැදිරියේදී ගෙළ සිරකරගෙන මියයන්නට තැත් දැරීමයි.සිය කමිසයෙන් සිරමැදිරිය තුළ එල්ලී සියදිවි හානිකරගන්නට හැදූ බවත් බදාදා අලුයම ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබූ බවත් පොලිසිය කියූ දේ ඒ අනුව ගම්මු විශ්වාස නොකළහ.
මීට ඉහත ලංකාවේ පොලිසි ගණනාවකදීම මෙවැනි සිදුවීම් වාර්තාවී ඇති බැවින් පොලිසිය බොරුවක් කළේය යන අදහසින් ගම්මු කලබල කළහ.


අදාළ පරීක්ෂණ අවසන් වනතුරු පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති අතර ගම්මුන්ගේ විරෝධය සමහන් කරන්නට එය හේතුවක් විය.
එම දෙන්නා අඟහරුවාදා (16) රාත්‍රී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් අයද වේ.
කෙසේ වෙතත් සැකකරුට පොලිස් නිලධාරීන් විසින් පහරදීමක් සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව අදාළ පරීක්ෂණය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසා තිබේ.
මේ අතරවාරයේ සිදුවීම සම්බන්ධයෙන් පවුල් ආරවුල වෙන පැත්තකට දිව යන්නකි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාරදී භූමිදානය කරන ලෙස දන්වා ඇති මුත් එම පුද්ගලයාගේ සිරුර භාර ගැනීම  බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ගම්මු ඔහු වෙනුවෙන් සටන් කළත් නිවසින් ඔහු ප්‍රතික්ෂේපවීම අරුමයකි.


මියගිය පුද්ගලයා දියණියන් තිදෙනෙකුගේ පියෙකු වූ අතර ඔහු බීමට ඇබ්බැහි වූවෙකු බවද පැවසේ. පසුගිය නොවැම්බර් 12 වැනිදා බීමතින් පහරදීම සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහල් දියණිය විසින් කරන ලද පැමිණිල්ල අනුව ඔහු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධිය හේතුවෙන් ඇය දින හතරක් රෝහලේ ප්‍රතිකාර ලැබූ බවද පැවසේ මේ කේන්තිය නිසා සිරුරද ඔවුන් එපා කියා ඇත.මේ වනවිට සිරුර භාරගෙන ඇත්තේ වෙනත් ලිපිනයක පදිංචි මියගිය අයගේ සොයුරියයි.

 පැමිණිල්ල ඉදිරිපත් කළ දා සිට අත්අඩංගුවට ගැනීම මඟහැරීමට ඔහු කිහිප වතාවක්ම දැරූ උත්සාහයකින් පසු අඟහරුවාදා පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව පැවසිණි.
සජබයේ විරෝධතා ව්‍යාපාරයට අදාළව මියගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට එල්ල වූ චෝදනා නිසා මෙම සිද්ධිය ආන්දෝලනයක් ඇති කළ අතර පොලිසිය භාර රාජ්‍ය ඇමති සරත් වීරසේකර පැවසුවේ ඔහු 'කුඩු කාරයෙකු' බවත් මෙතැන ඇත්තේ වෙනත් ප්‍රශ්නයක් බවත්ය.
සිද්ධියට අදාළ පරීක්ෂණ තවම සිදුවන අතර බොහෝ දුරට මෙය පොලිස් ඝාතනයක් ලෙස නම් නොකරනු ඇතැයි හඳුනාගන්නට ලැබේ.