panaduea-member-incident

මත්පැන් පානය කොට පානදුර ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඊයේ (21) පස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් ලයිට් කණුවක බැඳ තබා කළුතර උතුර  පොලීසියට බාර දෙනු ලැබීය.  මෙසේ භාර දී ඇත්තේ, පානදුර ප්‍රාදේශීය  සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාරම්පිටියට  කොට්ඨාසයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකු බව පොලීසිය කීයයි.  




මන්ත්‍රීවරයා ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත්‍රීවරයා ගල්පත බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන   ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.  ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකාර මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේම නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර සිදුකළ පරික්ෂණ වල දී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි පැවසේ.

සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජීවන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


- සුමිත් ප්‍රේමතිලක-