not-matching-marriage

අඹු-සැමියන් දෙන්න ම සතුටින් නැත්නම් විවාහ ජීවිතේම තේරුම මොකක්ද නේ ද? මිනිස්සු කසාද බදින්නේ එකිනෙකාගෙන් අන්‍යෝන්‍ය වශයෙන් සතුටක් ලබන බලාපොරොත්තුවෙන්. පෙම්වතුන්ටත් මේ අදාළයි. මේ බලාපොරොත්තු වන සතුට නැත්නම් කසාද බැඳලා නිකං බැන්ද පළියට එකට ඉන්න නීරස ජීවිතේ තේරුමක් නෑනේ.ඒ නිසා මේ සතුට ලබන්න පුළුවන් දෙන්නට දෙන්නා හොඳට ගැළපෙනවා නං විතරයි ආදරෙන් බැදෙන්න ඕනෑ. මෙන්න මේ අන්‍යෝන්‍ය ගැළපීම ගැන අපි ටිකක් අද කතා කරමු.



එක ජාතියෙ කුරුල්ලෝ එකට ලගිනවා කියනවානෙ. ඒ වගේ සාමාන්‍යයෙන් අදහස් උදහස් එකට ගැළපෙන අය තමා එකට සතුටින් ඉන්නෙ.

ආදරෙන් බැදෙන දෙදෙනෙකුට වුණත් සීයට සීයක් ම අදහස් නො ගැළපුණත් වැඩි ප්‍රතිශතයක්වත් අදහස් ගැළපෙන්නෙ නැත්නම් ඒ යුග දිවිය ප්‍රීතිමත් එකක් වෙයි ද කියන එක නං බොහොම අඩමානයි. ඉතින් හොඳට හිතලා බලන්න. ආදරය පිළිබඳ ගිවිසුමකට එළඹෙන්න කලින්, මෙයාව මගේ සහකරු/සහකාරිය ලෙස තෝරගන්නවා කියලා තීරණය කරන්න කලින් මේ ප්‍රශ්න තුනට ඔබ දෙන පිළිතුර ගැන . ඔබේ ආශාවන්, සැගවුණු අවශ්‍යතාවන් ඔහුට තේරෙනව ද? ඔහුට ඒවා ඉටු කරන්න පුළුවන් ද? ඔහු ඒවා ඉටු කරන්න කැමති ද? කියලා.ඔබේ ආශාවන් ලැයිස්තුවයි, ඒවාට මේ ප්‍රශ්න තුනෙන් ලැබෙන පිළිතුරුයි අනුව ඔබට ම පුළුවන් ඔබේ අනාගතය ඔහු/ඇය සමඟින් සතුටින් ගත කරන්න පුළුවන් ද, බැරි ද කියලා පේන කියන්න වගේ දැනගන්න.ඉතින් මේ කියන දෙන්නට දෙන්නා ගැළපෙනව ද?

කියන කාරණාව අපි කොටස් දෙකකට කඩලා විශ්ලේෂණය කරලා බලමු. ඒ කොටස් දෙක නො ගැඹුරු නො ගැළපීම් සහ ගැඹුරු නො ගැළපීම් කියලා අපි හඳුන්වමුකො.  නො ගැඹුරු නො ගැළපීම් කියන්නේ සාමාන්‍ය අදහස් උදහස්. ගැළපෙන දෙදෙනෙක් අතර ඉදහිට ඇතිවෙන පොඩි පොඩි ගැටුම්, ගැටළු, ඒවා ඒ තරම් දරුණු නැහැ. වාහනේක පොඩි පොඩි රෙපයාර්. එනවා වගේ ඒවා ඉතින් හදාගන්න පුළුවන්. දන්නැද්ද? පෙම්වතුන් පෙම්වතියන්, අඹු-සැමියන් හිටපු ගමන් ඔය පොඩි පොඩි ගෝරි දාගෙන නෝක්කාඩු ඇතිකර ගන්නවනෙ. අදින සාරියෙ පාට, දවල්ට හදන කෑම, කොයි දොස්තරගෙන් ද බේත් “ ගානේ, ඉරිදට මොන පත්තරේ ද ගන්න ඕනැ වගේ සුළු සුළු දේවල් සම්බන්ධයෙන් මේ වගේ පුංචි පුංචි ආරවුල් ඇතිවෙන එක ස්වභාවිකයි.මේ වගේ පුංචි පුංචි, එච්චර ගැඹුරු අනතුරුදායක බවක් නැති,

යුග දිවි ඔරොප්පු, නෝක්කාඩු ඉතින් කොයි යුග දිවියෙත් තියෙනවනේ. කොයි බත් පිගානෙත් ඉඳලා හිටලා ගලක්, දෙකක් හිටිනවනෙ.... ඒ වගේ.සුළු මොහොතයි ඒ අදහස් නො ගැළපීම තියෙන්නෙ. ඉඳහිට මේ වගේ අදහස් ප්‍රතිවිරුද්ධ වුණාට දෙන්නට දෙන්නා හරි ම ආදරෙයි. එහෙම තාවකාලික නො ගැඹුරු නො ගැළපීම්වලින් යුග දිවියේ ප්‍රීතියට එතරම් ම හානියක් නැහැ. ඒත් ඊළගට කියපු 'ගැඹුරු නො ගැළපීම්' ගැන නම් ටිකක් ගැඹුරට හිතන්න ඕනැ. ඒ කියන අදහස් උදහස් අතින් දෙන්න ම මුල් බැස ගත් අන්ත දෙකක ඉන්නවා නං වැඩේ ටිකක් බරපතලයි.

උදාහරණ කීපයක් බලමුකො.එක්කෙනෙක් ක්‍රිකට්වලට පිස්සු වැටිලා දවස තිස්සෙ ම ටී.වී. එක ළගමයි මැච් එකක් පෙන්නනවා නං. අනිත් කෙනාට ක්‍රිකට් අරහං. එක්කෙනෙක් පුදුම විදිහට ආගම බදාගෙන. ආගමික වැඩවල වැඩි හරියක් කාලෙ ගත කරනවා. හැමදේ ම හිතන්නෙ, කරන ආගමික සංකල්පවලට අනුව මේ අනිත් කෙනාට හිසරදයක්.එක්කෙනෙක් සමාජ ඇසුරට කැමතියි. යාළුවෝ ඇසුරට කැමතියි. අනිත් කෙනා කැමති තනිය ම තමන්ගේ වැඩක් පලක් කරන්ගෙන සමාජ ඇසුරක් වැඩිය නැතුව ගෙදරට ම වෙලා ඉන්න.එක්කෙනෙක් කැමති සල්ලි ඉතුරු කරන්න. අනිත් කෙනා කැමති වියදම් කරලා ජොලියෙ ඉන්න. දර්ශනවාදී පොත පත, සම්භාව්‍ය කලා නිර්මාණවලට එකෙනෙක් කැමතියි. අනිත් කෙනාට ඒවා ඔල්මාද.

එයා හොයන සිල්ලර පත්තර, සඟරා, විනෝදාත්මක හින්දි චිත්‍රපටි වගේ දේවල්. " ඉතින් මේ වගේ රුචි අරුචිකම් මුල් බැස ගත් මතිමතාන්තර අතින් අන්ත දෙකක ඉන්න දෙදෙනෙකුට නම් සතුටින් යුග දිවියක් ගෙවීම සෑහෙන්න අමාරුයි කියලා ඔබට තේරෙනවා න්නේ ද?

- ඒත් බුද්ධිමත් විදිහට හිතන්න පුළුවන් නම් මේ වගේ මුල් බැසගත් මතිමතාන්තර ගැන වුණත් සාකච්ඡා කරලා සමබර තත්ත්වයකට, එකඟතාවකට එන්න පුළුවන් තමා. ඒත් ගොඩක් වෙලාවට මේ වගේ මුල් බැසගත් අදහස්, විශ්වාසයන් වෙනස් කරන්න හරි ම අමාරුයි. සමහර විට ආගම, දේශපාලන පක්ෂ වගේ දේ සමහරුන්ගේ ඇගේ ලේ වලට මිශ්‍ර වෙලා වගේ සම්බන්ධ  වෙලා. ඒ අදහස් හරි හෝ වැරදි හෝ වේවා ඒවයින් බැහැර වෙන්න කොහෙත් ම බැහැ. දඩබ්බර ලෙස ඒ අදහස්වල ම එල්බගෙන ඉන්නවා. මේ අදහස් වෙනස් කිරීම ඇගේ ලේ වෙනස් කරනවා වගේ අමාරු වෙන්නත් පුළුවන්.මේ වගේ අදහස් බුද්ධිමත්ව සාකච්ඡා කරලා අමාරුවෙන් හරි එකගතාවකට ගේන්න පුළුවන් කියමුකො. ඒත් කොහෙත් ම වෙනස් කරන්න බැරි ආශාවන්, සිතුම් පැතුම් යනාදියත් අප තුළ තියෙනවා. අපේ සමහරු පුරුදු අපිට උරුම වෙන්නෙ පවුල් පසුබිමෙන්, සමාජ පසුබිමෙන්. ආශාවල්, සිතුම් පැතුම්, සමහර විට මවුපිය ආරෙන් එන ජන්ම ගති වෙන්නත් පුළුවන්. අපිට අපේ හැසිරීම් වෙනස් කරන්න පුළුවන් වුණාට ජන්ම ගති වෙනස් කරන්න බැහැ ගොඩාක් දුරට.

ඉතින් දැනට. ඔබ කාටවත් බහ දීලා නැත්නම් ඔබ ප්‍රිය කරන අනාගත සහකරු/සහකාරිය, පෙම්වතා/පෙම්වතිය තෝරගන්න කලින් හොඳට හොයලා බලන්න ඔබේත්, ඔහුගේත්, ඇයගේත් රුචි අරුචිකම්, ජීවන රටාවන්, මති මතාන්තර, පවුල් පසුබිම,සමාජ පසුබිම යනාදී හැම දෙයක් ම ගැළපීමක් තියෙනව ද කියලා. ද එක ම ක්ෂේත්‍රයේ රැකියාව කරනඑක ම මට්ටමේ රස වින්දනයක් ඇති, එක වගේ හිතන, සම අදහස්-ආශාවන් තියෙනෙ දෙදෙනෙකුට නං ඉතින් කුරුල්ලයි, කිරිල්ලියි වගේ අපූරුවට ඉන්න පුළුවන් හැමදාම සතුටින්. අඩු ම ගානේ සීයට හැත්තෑපහක්වත් අදහස් ගැළපීමක් නැත්නම් ඒ වගේ ම තදින් ජීවිතයකට කිඳා බැහැපු ගැඹුරු වෙනස්කම් සහිතව දෙන්නා ඉන්නේ අන්ත දෙකක නම් ඔබේ සහකරු/සහකාරිය පිළිබඳව දෙ වරක් නෙමේ, තුන් හතර වරක් හිතලා බලන්න. කසාද බඳින්න කලින් ගොඩාක් අය ඉන්නේ පුංචි පුංචි වෙස් මූණු පැළඳගෙන. වැඩිපුර ලකුණු දාගන්න හින්දා බොරුවට හරි පෙන්නනෙ අදහස් ගැළපෙන බවයි. ඒත් කණකොක් සුද පේන්නෙ ඉගිලෙනකොට කියනවා වගේ සැබෑ අව්‍යාජ පුද්ගලයව පෙනෙන්නේ සමහර විට වසර ගාණක් ගියාට පස්සේ. ඒ හින්දා ඉතා සූක්ෂම ලෙස මෙම වෙස් මූණු පිටිපස ඉන්න පුද්ගලයව හඳුනා ගත යුතුයි.

සමහර විට දෙන්න ම ඒ වගේ පොඩි පොඩි ' ඇක්ටිං' දානවා නං ඇත්ත අදහස්, ඇත්ත නැමියාවන්,

ආශාවන් හංගගෙන බොරු මූණක් විතරක් එකිනෙකාට පෙන්වනවා නං දෙන්න ම ගමන් කරන්නෙ ප්‍රපාතයකට වෙන්න පුළුවන්. කසාද බදින්න ඕනැ කෙනෙකුට පුළුවන්. කච්චේරියට ගියා, අත්සන කටු ගෑවා, එච්චරයි. ඒත් සතුටින් තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන එක සෙල්ලමක් නෙමේ. සමහර මිනිස්සුන්ගේ සැබෑ ම තත්ත්වය අවුරුදු ගාණක් ගියත් තේරුම් ගන්න අමාරු වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔබ විවාහක නම් දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ. ඒත් අධෛර්යය වෙන්න එපා. ඉහත සඳහන් කරපු ගැඹුරු/නො ගැඹුරු නො ගැළපීම් ඔබතුළත් ඇත්නම් ඒවා අවබෝධ කරගෙන දෙන්න ම හොඳ වෙලාවක් බලලා, කතාබස් කරලා දෙන්නගෙ ම අදහස් සම මට්ටමකට ගේන්න බලන්න.

හැබැයි සමහර විට ඔබට සෑහෙන පරිත්‍යාගයකින් යුතුව ඔබේ ඇතැම් ගති පැවතුම්, අදහස් උදහස් වෙනස් කරන්න සිදුවේවි.ඔබ තාම ආදර ගිවිසුමකට එළඹිලා නැත්නම් කලබල නො වී හොඳට හොයලා අදහස් ගැළපෙනවා නං විතරක් 'බහ' දෙන්න. සම්පූර්ණ අදහස් නො ගැළපෙන දෙනෙක් මොන හේතුවකට හරි බහ දුන්නොත් ඒක දෙන්නට දෙන්නා වහ දුන්නා වගේ වෙන්නත් බැරි නැහැ ඉතින් අදහස් ගැළපෙන්නෙ නැත්නම් දැන්මම වෙන්න. අඩන්න තරම් දුක හිතෙයි. කමක් නෑ. පස්සේ රෑට රෑට කොට්ටේ පෙගෙන්න අඩ අඩා විඳවනවට වඩා දැන් ලේන්සුවක් පෙගෙන්න අඩලා වෙන් වෙන එක දෙන්නට ම හොඳයි.

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු