maharagama-tiraj-electricity

මහරගම නගර සභාවේ සභාපතිවරයා සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබාගත් බවට චෝදනා කරමින් නගර සභාවෙි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (25) පැවැති මාසික සභා රැස්වීමේදී අදහස් දැක්වීමත් සමග සභාව උණුසුම් විය.    මේ හේතුවෙන් සභා රැස්වීම අවස්ථා තුනකදී කත්දැමීමට මූලාසනයට සිදුවිය. එහිදී මහරගම නගර සභාවේ සභාපතිවරයා වංචා සහගත ලෙස සිය නිවසට විදුලිය ලබාගත් බවට සහ නගරසභා අරමුදලින් කෝටි අටක් වංචා කළ බවට චෝදනා කරමින් එම මන්ත්‍රීවරු ඔහුට මෙසේ විරෝධතාව පළ කළහ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සභාවේ කටයුතුවලට බාධා එල්ල කළ අතර, ස්වාධීන කණ්ඩායමේ නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා හැලජින් වර්ගයේ විදුලි ලාම්පුවක් සභාගැබ තුළ ප්‍රදර්ශනය කරමින් සභාපතිවරයාට බාධා කළේය.




මෙදින මහා සභා රැස්වීම උපසභාපති සුනිල් පියරත්න මහතා විසින් ආරම්භ කළ අතර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා විරෝධය පළ කිරීමෙන් පසුව, උපසභාපතිවරයා මූලාසනයෙන් ඉවත්ව,  ලේකම්වරයාගේ ආරාධනයෙන් නැවත මූලාසනයට පැමිණ සභාවේ වැඩකටයුතු ආරම්භ කළේය. එම අවස්ථාවේදී ඉකුත් සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පැවති මහා සභා රැස්වීම් නීත්‍යානුකූල නොවන අයුරින් පැවැත් වූ බව පවසමින් උපසභාපතිවරයාට හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් විනාඩි 30කට සභාව කල් තැබීමට උපසභාපතිවරයාට සිදුවිය. නගර සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත සභාවේ වැඩ කටයුතු ආරම්භ කළ ද, දිගින් දිගටම මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව  හේතුවෙන් නැවත වරක් විනාඩි පහළොවකට සභාව කල් තැබීමට ද සිදුවිය.


පසුව සභාපතිවරයා  සභාවේ කටයුතු ආරම්භ කළ අතර එහිදී ද ඇති වූයේ නොසන්සුන්කාරී තත්වයකි. මෙම බාධා කිරීම් මධ්‍යයේ වුවද මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය මෙහෙයවීමට සභාපතිවරයා පියවර ගත්තේය. එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර, කාන්ති කොඩිකාර, අමරපාල වන්නිආරච්චි, රුවන් සේනාරත්න සහ ප්‍රදීප් ලියනගේ යන මන්ත්‍රීවරුන් අවස්ථා තුනකදී නම්  කොට සභාවෙන් පිටව යන ලෙසට මූලාසනයෙන් නියෝගයක් නිකුත් කළේය.




මෙම විරෝධතාව සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහය නොදැක්වූහ.  මහා සභාව පවත්වා ගෙන යාමට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළ නිසා මහා සභා රැස්වීම නීත්‍යනුකූල රැස්වීමක් බවට තහවුරු කර ගැනීම සඳහා විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා බෙදීමක් ඉල්ලා සිටියේය.  එහිදී ඡන්ද විමසීමක් සිදු වූ අතර, යෝජනාවට  පක්ෂව ඡන්ද 25 ක්ද විපක්ෂව ඡන්ද 22 ද ලැබුණි. ඒ සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග උපසභාපතිවරයා ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙක් විපක්ෂව ඡන්දය භාවිත කළහ.


මෙහිදී සභාපති ටිරාජ් ලක්රුවන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින්, මෙසේ කීය. පසුගියදා තම නිවසේ සිදු වූ සිද්ධිය දී, තමාට ඇති වූ ආවේගය නිසා කිසියම් අයකුට තර්ජනයක් සිදුව ඇති බවත් සභාපතිවරයා ලෙස තමාට පැවරී ඇති වරප්‍රසාද අනුව විදුලිය ලබා ගැනීම සිදු කළ බවත් එලෙස ලැබූ වරප්‍රසාද, මන්ත්‍රීවරුන් රැසක් භුක්තිවිඳින බව පැවසීය. තවද තමා හොරෙක් නොවන බවත් මූල්‍ය වංචාවක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට විමර්ශනයක් සිදුකරන ලෙසත් චෝදනා කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

 -ශාන්ත ප්‍රදීකුමාර කුලරත්න