gas-issue

ගෑස් කාන්දූවීම් නිසා නිවාස වල ඇතිවූ පිපිරීම් සිදුවීම් 30 ක් පිළිබඳව ඊයේ (29) වනවිට වාර්තාවී තිබුණි. ගත වූ පැය හතළිස් අටක කාලයේ පිපිරීම් 11ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවීම විශේෂිතය.
සංයුතියේ ප්‍රශ්නයක් නිසා මෙම අනතුරු සිදුවුනු බවට විමර්ශනයක් කළ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව අනුව සංයුතියේ ප්‍රශ්නයක් ඇති බව හෙළි විය. එනම් තමන් ප්‍රොපේන්- බියුටේන් පිරවූයේ 30-70 අනුපාතයට යයි කියන ගෑස් සමාගම් බොරු කර ඇති බවටත් සත්‍ය සංයුතිය 49-51 බවටත් කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව වැඩි වාසි තකා ගෑස් සිලින්ඩරය තුළ පවතින බියුටේන් වායුව සියයට 70 ක් වෙනුවට 51 දක්වා බස්සවා අලෙවි කර ඇති බව සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට නොගැලපෙණ මෙම සංයුතිය හේතුවෙන් පිපිරීම් සිදුවූ බව මීට ඉහත විද්‍යාඥයින් පෙන්වාදී තිබුණි.


ආසන්න දිනවල මාරවිල, පාදුක්ක, හංවැල්ල, කැකිරාව, මානිප්පායි, හලාවත, හැටන් යන ප්‍රදේශවල එම අනතුරු සිදුව තිබේ.
මාරවිල ගරාජ් පාරේ නිවෙසක ගෑස් සිලින්ඩරය සවිකර තිබූ ළිපක් ද ඊයේ (29) පිපිරීමට ලක්විය.
එමෙන්ම හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවකද ගෑස් කාන්දුවක් හේතුවෙන් ඊ​යේ (29) පිපිරීමක් සිදුව තිබේ.ආපනශාලාවට හානි සිදුවී ඇත.
එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ ඇල්පිටිය ප්‍රදේශයේ පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශ​යේ ජාඇල, තුඩැල්ල, පොල්ගස්ඕවිට,හලාවත කාක්කාපල්ලිය සේමා ඉරිප්පුව ප්‍රදේශයේ, හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශ​යේ, සියඹලාගොඩ සහ හාලිඇල එංගඔයගම ප්‍රදේශයන්හි මේ ආකාරයේ පිපිරීම් අනාවරණය වී තිබිණි.

 සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප‍්‍රකාශ කළේ ගෑස්වල ප‍්‍රමිතිය හා ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙතෙක් කලක් කටයුතු කර නැති බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් රසායනාගාරය වෙත අදාළ ගෑස් සාම්පල ලැබුණු බවත් එකී සාම්පල් පිළිබඳ එකී රහස්‍ය වාර්තාව කෙළින්ම පාරිභෝගික අධිකාරිය වෙත යොමුකළ බවත් සඳහන් කළේය.



රජයේ රස පරික්‍ෂකවරිය වන ජී. රමානා මහත්මිය කියා සිටියේ එම සිද්ධීන් වී ඇති ආකාරය පිළිබඳව රස පරික්‍ෂක දෙපාර්තමේන්තුව පරික්‍ෂණ සිදුකළත් ගෑස් සංයුතිය හෝ සංඝටක පිළිබඳ පරික්‍ෂා කිරීමට රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට කිසිදු තාක්‍ෂණික පහසුකමක් නැති බවයි.

මේ වනවිට එවැනි පරික්‍ෂණයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා හා ක‍්‍රමවේද සොයමින් සිටින බවද රජයේ රස පරික්‍ෂකවරිය සඳහන් කළාය.

මේ අතර මොරටුව විශ්වවිද්‍යාලය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර විද්වත් කමිටුවක්ද වෙනම මේ පිළිබඳ සොයා බැලීමට පටන්ගෙන තිබේ.

ගෑස් මිල ඉහළ ගොස් තිබෙන මොහොතක ගෑස් සිලින්ඩර පුපුරායාම හා ගිනි ගැනීම නිසා පාරිභෝගිකයින් ගෑස් භාවිතා කිරීම සම්බන්ධව දැඩි තැති ගැනීමට ලක්ව ඇත.