gas-alagiyawanna

ගෑස් සිලින්ඩර්වල වායු සංයුතිය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් වන ‘ඉන්ටටෙක්’ යන ආයතන දෙක පරීක්‍ෂා කරමින් සිටින බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.



ලිට්‍රෝ ගෑස් සමාගම වර්ෂයකට නිකුත් කරන ගෑස් සිලින්ඩර ලක්‍ෂ 350 න් අනතුරු පහක් හෝ හයක් ද, ලාෆ් සමාගම 2015 සිට නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින් නිවෙස් අනතුරු 12 ක්, ව්‍යාපාරික ස්ථානවල 9 ක් සහ ගෑස් අළෙවි නියෝජිත ආයතනවල අනතුරු 2 ක් පමණක් වාර්තා වී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය වරයා ගෑස් අනතුරු නැති කිසිඳු රටක් ලෝකයේ නැතැයි කීය.

පාරිභෝගික අධිකාරිය ගෑස්වලින් ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා 2012 වර්ෂයේ ගැසට් නිවේදන 5 ක් සහ 2009 ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය, නළයේ ගුණාත්මකභාවය සහ සෙසු උපකරණවල ගුණාත්මක බව සම්බන්ධයෙන් එම ගැසට් නිකුත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එළඹෙන සති දෙක ඇතුළත තව දුරටත් ගුණාත්මක තතත්වය වැඩි කිරිම සඳහා ගැසට් නිකුත් කිරීම සහ නීති පැනවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ගෑස් අනතුරු බිංදුව දක්වා අඩු කිරීම ඉලක්කය බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.