කොච්චර හොඳ අඹු සැමියන් අතර වුණත් ඉඳ හිට පුංචි පුංචි ගැටුම් ඇතිවෙනව. ඒක ඉතිං ස්වභාවිකයි. ඒත් පෙම්වතුන්  වෙලා ඉන්න කාලෙදි නං ගැටුම් ඇතිවෙනව අඩුයි. ගොඩක් ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙ බැන්දට පස්සේ!  ඇයි ඒ?

පෙම්වතුන් ලෙස කිරිපැණි වගේ හිටපු අය බැන්දට පස්සෙ ගෝරි දාගන්නෙ ඇයි? මල් වතුවල අත් අල්ලගෙන ඇවිදිමින් ආදර වදන් දෙසූ අය බැන්දට පස්සෙ හිත පාරගෙන යන සැරපරුෂ වචනවලින් බැණගන්නෙ ඇයි?

හැංගි හැංගි වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළිමහනෙ කියල කියනවනෙ. ඒ වගේ බොහෝ අය පෙම්වතුන්ව ඉන්න කාලෙදි එකිනෙකාට පෙන්නන්නේ බොහෝ විට වෙස්මුණක්. ඒත් ඒ වෙස්මූණ ගැළවෙන්නෙ බැන්දට පස්සේ. බොහෝ පෙම්වතුන් තමන්ගේ සහකරුට/සහකාරියට පෙන්වන්නෙ තමන්ගෙ සැබෑ ස්වරූපය නෙමේ. බාහිරිනුත් ඇතුළාන්තයෙනුත් බොහෝ විට පෙන්වන ආරූඪ කරගත් ස්වභාවයක්. මවාපෑම්, රඟපෑම් ගොඩයි. ඇති දේ නැතිකර නැති දේ ඇතිකර පෙන්වන්න උත්සාහ කිරීම අනන්තයි.

මේ කාලෙදි පෙම්වතා/පෙම්වතිය කැමති දේ හොය හොය දැනගන ඒ දේවල් කරන්න තමා වෙහෙසෙන, අඳින ගවුම, කමිසෙ ඉඳල හැසිරෙන ලීලාව දක්වා හැම දේම "ලකුණු වැටෙන” විදියට තමයි තෝරගන්නෙ  .  "ඔයාට හොඳටම ගැළපෙන සහකරු/සහකාරිය මමයි" කියන අදහස කවන්න තමයි වෙහෙසෙනෙ.
ඉතින් මෙහෙම කරද්දි "ලකුණු කැපෙන වැඩ” කරන්නේ නැතිව ඉන්න පරිස්සම් වෙන එක කරන්නෙ රඟපෑම්වලින්. වෙස්මුහුණු වලින්.



තමා ඉන්න ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයකුව මවාපාන්න සමහර පෙම්වතුන් පෙම්වතියන් හරිම දක්ෂයි. සමහරු බඳින්න කලින් කරල තියෙන රඟපෑම් ගැන හිතද්දි පුදුමෙන් පුදුමත් හිතෙනව. දක්ෂම නළුවාට/නිළියට හිමි සම්මාන දෙන්න ඕන තිරයේ චරිත රඟපාන අයට නෙමේ, සැබෑ ජීවිතයේ බොරු රංගනයක යෙදෙන පෙම්වතුන්ට, පෙම්වතියන්ට.  ඔබම හිතල බලන්න. ඔබ සමහර විට ඒ වගේ බොරුකාරයකුට රැවටිලා කසාද බැඳල දැන් කරගන්න දෙයක් නැතුව අඬා වැළපෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නැතත් රැවටීමෙන් මුළා කිරිල්ලෙන් කසාද බඳින්න සිද්ධ වුණු,  දැන් පසුතැවෙන අනන්තවත් අය ගැන ඔබ අහල ඇති. හමුවෙලා ඇති. පෙම්වතුන් වෙලා ඉන්දැද්දි පෙන්නපු  බොරු වත්කම්, බොරු "සෝබන බොරු කයිවාරු සේම එළිවෙලා වෙස්මුණු ගැලවිලා මහා කලකිරීමකින් බහින්බස් වුණු, සණ්ඩු දබර " කරගන්න තත්වයට පත්වුණු අය ගැන ඔබ අනන්තවත් අහල  ඇති.

ඒ ඇසුරෙන් ඔබ මොනවද හිතන්නේ? බොරුවෙන්, රඟපෑමෙන් වෙස්මුණුවලින් කෙනෙකුව රවට්ටලා විවාහ කර ගැනීමෙන් සතුටක් ලැබෙනව කියල ඔබ හිතනවද? විවාහය සාර්ථක වෙනව කියල හිතනවද? දිගුකාලීනව දරුවන්ටත් සතුටුදායක පරිසරයක්, අනාගතයක්, සුවදායක මානසිකත්වයක් ඇතිවෙනව කියල හිතනවද?
ඔබම දන්නව උත්තරේ. එක සැරේට දහ සැරයක් නෑ. බොරු කරල සැබෑ ආදරයක් දිනාගන්න කවදාවත් බෑ. රත්තරං ආදරයක් ලැබෙන්න නං අවංක හදවතකින් ආදරය කරන්න ඒන. බොරුකාරයෙකුට අවංක ආදරයක් ලැබෙන්න පුළුවන් තමා. හැබැයි බොහොම ටික කාලෙකට. හැබැයි එහෙම රැවටෙන අය නං අපරාදෙ! බොහෝ වෙලාවට ජීවිත්තේ කාලකණ්ණි වෙන අවංකව ආදරය කළ කෙනාගෙ.

ඇයි මිනිස්සු බොරු කරන ආදරයක් දිනා ගන්නේ? විවාහයක් කර ගන්න?

ඇත්ත කිව්වෙත් කසාදෙ කෙරෙන්නේ නැති බව දන්නව. ආදරය ලැබෙන්නෙ නැති බව දන්නව. ඒ නිසා චරිතවත් බව, වංශවත් බව, ධනවත් බව, උගත් බව යනාදිය විතරක් නෙමේ අවිවාහක බව ගැන පවා පට්ට පල් බොරු කරනව මිනිස්සු. තව ඔය වගේ දහසකුත් බාහිරනේ පෙන්නන බොරු ගැන සවිස්තරව කියන්න අවශ්‍ය නැහැන්නේ.
සමහරු කසාද බඳින දවස දක්වාත්, සමහරු ඊටත් අවුරුදු ගණනාවක් යනතුරුත් තමාගෙ විවාහක සැමියගෙ, බිරිඳගෙ සැබෑ ස්වරූපය තේරුම් ගන්නෙ නෑ. ඒත් ජීවිතයේ එක එක පුංචි පුංචි ගැටලු ප්‍රශ්න මතුවෙද්දි ඒවත් එක්කම තමා සැබෑ පුද්ගලය එළියට එන්නෙ. පෙම්වතා කාලෙ හිටපු බැටළුවා සැමියා තුළ යක්ෂයෙක්
ලෙස පේන්න පුළුවන්. අහිංසක අවංක නිමල පෙම්වතිය කලින් පෙම්වතුන් පෝලිමකට නිමල ආදරේ දීල තිබිල වෙන්න පුළුවන්.


ඉහත අපි කතා කළේ බාහිර කරුණු ගැන.

මොනවද අභ්‍යන්තර කරණු? ඒ කියන්නෙ මිනිස්සු බොරු කරන්න මනෝවිද්‍යාත්මක පැත්තෙන් දැකිය හැකි සැගවුණු හේතු මොනවද?  බොරු කිරිමෙන්, අසු නොවී බොරුවක්, හොරයක් කිරිමෙන් සමහරු ලබන විකෘති තෘප්තිය "ත්‍රිල් එක" එවැනි මානසික ඌනතාවයක්. කුඩා කාලෙ ඉඳළම එන බොරු කීමේ පුරුද්ද, සමහර විට මව්පියන්ගෙන් උරුම වන ජන්ම ගති, යහපත් ධාර්මික පවුල් පසුබිමක සෙවණ නොලැබීමේ හේතුව වගේ නොයෙකුත් හේතු තිබිය හැකියි.

ඒත් ඔය සේරටම වඩා ප්‍රධාන වශයෙන්ම බලපවත්වන හේතුව තමා හීනමානය සහ තමන් ගැන තෘප්තිමත් බවකට පත්වීමට බැරිකම. මේ අය තමන්ගේ නියම ස්වභාවය සමාජයට පෙන්වන්න බයයි. ඒ වගේම හීනමානය තියෙන අය බොහෝ විට ආත්මාර්ථකාමී බවට දැඩි ලෙස සම්බන්ධයි. තමන් ගැන අඩුවට හිතාගෙන ඉන්න මිනිස්සු නිතරම අනුන්ට මානසිකව හේත්තු වෙලා ජීවත් වෙනව මිසක් කවදාවත් තනියම කෙළින් හිටගෙන ජීවත් වෙන්න හැකියාව ඇති අය නෙමේ. හැම තිස්සෙම බලනෙ තමන්ට වඩා මානසිකව ශක්තිමත් කෙනෙක් වටා එතෙන්න. තමන්ට නුසුදුසු, හොඳ වැඩියි කියල හිතෙන කෙනෙක්ව වසඟයට ගන්නා තොරතෝචියක් නැතුව බොරු කියන, බොරු කරන, රැවටිලි, සූත්තර, රගපෑම් වෙස්මුණු එක්ක ජීවත් වෙන මෙන්න මේ වගේ ආත්මාර්ථකාමී, තමන් ගැන සෑහීමකට පත්වෙන්න බැරි දුර්වලයො...

බොරුවෙන් ආදරය දිනාගන්න හදන්නෙ, කසාද බඳින්න හදන්නේ එක්තරා විදියක මානසික රෝගීන්. ඒ අයට කොන්දක්  නෑ. තමන්වම විශ්වාස නෑ. තනියම සිටගැනීමට ආත්ම ශක්තියක් නෑ. ඒ වගේම ආදරය අඳුනනෙත් නෑ.  මේ දුර්වලකම්, සමහර විට අමනකම් එක එක මතුවෙන කසාද බැන්දට පස්සෙ. ඒත් එතකොට තමා වැඩියි. කීපදෙනෙකුගේ ජීවිත කාබාසිනියා වෙලා ඉවරයි.  ඒ හින්ද රවටන්න එපා රැවටෙන්නත් එපා. රවට්ටනවනං ඔබ ඔබවම රවටා ගත්ත මානසික ලෙඩෙක්. රැවටෙනව නම් ඔබ දුර්වල කෙනෙක් වෙන්න පුළුවන්.  ඇත්තෙන්ම ඒක දුර්වලකමකට වඩා අවාසනාවක් ලෙසත් හිතන්න පුළුවන්. හොඳ හිත නිසා උගත් අය පවා සමහර විට කපටින්ට රැවටෙනවා. සමහර කපටින් දක්ෂ රගපෑම් කරන නිසා විශේෂයෙන්ම ඔබ විවාහ වෙන්න සහකරුවෙක් සහකාරියක් සොයන කෙනෙක් නං හොඳට.. හොඳට.. හොයලා බලල තීරණයක් ගන්න. වෙස්මූණු දාගත්තු චරිත අද අප අතර අනන්තයි. ඒ නිසා ප්‍රවේසමෙන්!

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු