fall-in-love-in-a-hurry-without-looking

ඔබට පෙම්වතෙක්/ පෙම්වතියක් ඉන්නව ද? එහෙම නම් ඔබට මතක ද කොහොම ද ඔබේ ආදර සම්බන්ධය පටන් ගත්තෙ කියලා? ඔබ ඔහුට/ඇයට ආදරය වුණේ ඇයි කියලා ඔබට කියන්න පුළුවන් ද? ඔබ කරුණු පෝලිමක් කියයි. 
නොයෙකුත් හේතූන් මත ගැහැනියක්, පිරිමියෙක් අතර ළෙන්ගතුකමක් හටගන්නවා විය හැකියි. නමුත් බලාපොරොත්තු, ආශා කරන එක ගුණාංගයක් නිසා කෙනෙකුට ප්‍රියත්වයක්, ළංවීමක් සිදුවෙලා පස්සේ සම්පූර්ණ පුද්ගලයාට ඇළුම් කිරීමක් සිදුවෙන්න පුළුවන්. ඒත් ඒක ආදරේට නෙමේ.කොහොම වුණත් ආදරය කියන්නෙ මහ ගුප්ත බලවේගයක්. දෙනෙක් විවාහ වෙන ගොඩක් වෙලාවට නොයෙකුත් හේතු පදනම් කරගෙන වෙන්න පුළුවන්. ඒත් දෙනෙක් ආදරෙන් බැදෙන්නෙ නම් කොහොම ද කියන එක, එක අතකට අභිරහසක්.
බාහිර මට්ටමෙන් කිසි ම ගැළපීමක් නැති අය පුදුමාකාර විදිහට ආදරෙන් බැඳිලා ඉන්නවා.

ඒ වගේ ම බාහිරින් හැම ගැළපීමක් ම තිබුණත් බලෙන්වත් දෙනෙකුව ආදරෙන් එක් කරන්න බැරි අවස්ථා තියෙනවා. මුලින් එපා වුණු අයව පස්සෙ ඕනැ වෙන අවස්ථා වගේ ම මුලින් පුදුම ආදරේකින් හිටපු අයව පස්සෙ එපා වෙන අවස්ථා තියෙනවා. හරි අමාරුයි මේවා තේරුම් ගන්න නේ ද? .

බිත්තරයකින් පැටියෙක් එළියට එන්නෙ කොහොම ද? අපේ ඇස් ජීල්බෝල වගේ ලස්සනට, රවුමට හැදෙන්නෙ කොහොම ද? මලක් සුවඳවත් වෙන්නෙ කොහොමද? දේදුන්න පාට වුණේ කොහොම ද..? මේ වගේ දේවල් අපි ගණන් නො ගත්තට ඇත්තට ම ඒවා අභිරහස් තරමට පුදුමයි නේ ද?

ඉතින් මේ දෙදෙනෙක් අතර ආදරයක් ඇතිවෙන හැටිත් එක අතකට සොබාදහමේ අභිරහස් සැලැස්මක් කියන්නත් පුළුවන්. . නමුත් මට හිත්තෙන හැටියට නම් අපි සොබාදහම සමග සම්බන්ධ වුණොත්, සහයෝගයෙන් කටයුතු කළොත් බොහෝ අවස්ථාවලදී අපට අපේ ජීවිතත්, ලෝකයත් අර්ථවත් කරගන්න, ලස්සන කරගන්න පුළුවන්.උදාහරණයක් කියන්න ද? දැන් බලන්න මේ මහ පොළොව උඩ මල් ගසුත් වැවෙනවා, වල් පැළත් වැවෙනවා. ඒක සොබාදහම. කිසි ම සාත්තුවක් නො කර නිකං වල් වැදෙන්න ඇරියොත් ඕනෑ ම ඉඩමක් වල් පැළෑටි පිරිලා කැලෑ වෙලා තියෙන හැටි අපි දකිනවා.

නමුත් අපට අවශ්‍ය විදිහට පාත්ති සකස් කරලා එක එක වර්ගයේ පාට පාට මල් ගස් පිළිවෙළකට වැවොත් ඇස්වලට විතරක් නෙමේ ගතට, සිතට සුවයක් දෙන උද්‍යාන වුණත් හදන්න පුළුවන් බව අපට තේරෙනවා. පේරාදෙණිය, ගම්පහ වගේ මල් උද්‍යානයකට ගියොත් මේ බව හොඳට ම පැහැදිලි වෙනවා. ඉතින් මේ වගේ සොබාදහම එක්ක අපේ ශ්‍රමය, අපේ ආශාවන් යම්කිසි අර්ථවත් විදිහකට, සැලැස්මකට යෙදෙව්වොත් අපට ඉතා ම ප්‍රයෝජනවත් ලස්සන ලෝකයක්, සමාජයක් බිහි කරන්න පුළුවන් බව තේරෙනවා නේ ද? සොබා දහමෙන් අපිට ජලය, හිරු එළිය, සරු පස වගේ ම මල් පැළත් දීලා තියෙනවා. ඒ වගේ ම වල් පැළත් ඔහේ වැඩෙන්න අවකාශ තියෙනවා. නමුත් ලස්සන පාත්ති හදලා පිළිවෙළකට මල් වවලා තණකොළ ගාණට කපලා මනරම් උයනක් හදන එක මිනිසාගේ කොටස. ඒ වගේ අපිට සොබා දහමින් මොළේ කියලා එකක් දීලා තියෙනවා.

හදවතක් කියලා එකක් දීලා තියෙනවා. මනුස්සකම, ආදරය කිරීමේ ලැබීමේ හැකියාව, ලිංගික ආශාවන් වගේ ස්වභාවික දේ දීලා තියෙනවා. ඉතින් මේ ස්වභාවික දේවල් වල් වැදිලා අපේ ජීවිතත්, සමාජයත් දූෂිත වෙන්න හරි මල් පිපිලා අපේ ජීවිතත්, සමාජයත් සුවඳවත් කරන්න හරි නිදහස තියෙන්නෙත්, හැකියාව තියෙන්නෙත් අපේ අතේමයි.මෙන්න මේ අදහස ඇතිව, මේ දෘෂ්ඨි කෝණයෙන් අපි මේ ආදරය කියන දේ දිහාත් බලන්න පුරුදු වුණොත් මං හිතන්නෙ ගොඩාක් දුරට අපට හැකිවෙයි ආදරේ නාමයෙන් හඬා වැටෙන කදුළු ගංගාවල් නවත්වන්න. සෝ සුසුම් කුණාටු නැති කරන්න. සමාජයේ තියෙන නොයෙකුත් දූෂිත, අක්‍රමිකතා වළක්වන්න.ඒ කියන්නේ අපි මොළේ පාවිච්චි කරලා, හදවත පාවිච්චි කරලා මනුස්සකම, හොඳ නරක ගැන හිතලා ආත්මාර්ථයට වඩා පරිත්‍යාගශීලීව හිතලා ආදරේ කරනවා නං ඒකෙන් කාටත් වෙන්නෙ  යහපතක්. ඒ වගේ ම ආශාවන් පස්සෙ දුව දුව මිනිසුන්ව රවට්ටලා, බොරු කරලා, විදවන්න බැරි ගින්දරක් දීලා අයින් වෙන්න හදන කපටි 'ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ”
හින්දා ලෝක්කො ම ඇති වෙන්නෙ ශාපයක්,  කළකිරිමක්, ජීවිත එපා කිරිමක්.ඉතින් ඔබට පෙම්වතෙක් හිටියත්, නැතත් ආදර සබඳතාවක් පටන් ගන්න ඉස්සෙල්ලත්, ආදරෙන් ඉන්නැද්දිත් නිකං මෝඩ විදිහට ආශාවන්වලට, ආත්මාර්ථයට විතරක් ඉඩ දීලා ජීවිතය වේදනාවෙන් වල් බිහිවෙන්න ඉඩ දෙන්න එපා.


නිකමට හිතන්න ඇයි ඔබේ හිත වෙන කෙනෙක් වෙත ඇදිලා යනෙ කියලා. සමහරු ශරීරයේ හැඩරුව, සිනහව, කථා විලාශය, ගමනේ ලාලිත්‍යය, ශරීරය හසුරුවන ආකාරය වගේ දේට ඇළුම් කරන්න පුළුවන්. ගතිගුණ, අහිංසකකම, අසරණකම, ආඩම්බර බැස්ම, ආඩම්බර හැසිරීම වගේ දේ නිසාත් ඇළුම් කරනවා විය හැකියි.උගත්කම, බුද්ධිමත්කම, ශීලාචාරකම, සමාජ මට්ටමේ උසස් බව, ධනය, බලය, ප්‍රසිද්ධිය හෝ ජනප්‍රියත්වය වගේ දේ නිසාත් කෙනෙක් වෙත හිත ඇදී යන්න පුළුවන්. ඒත් නැත්නම් හුදෙක් ලිංගික ආකර්ෂණය නිසා පමණක් එහෙම වෙන්නත් පුළුවන්.

අපට කව්රු හරි කරන උදව් නිසා ඒ අය වෙත හිත ඇදී යන්නත් පුළුවන්.

මේ එක දෙයක් හෝ සෑම දේ ම හෝ මේ එකක්වත් නො වන තේරුම් ගන්න බැරි හේතුවක් නිසා හෝ කෙනෙකුට හිත ඇදී යන්න ඉඩ තියෙනවා. දැක්ක ගමන් පිස්සු වැටිලා ආදරේ හිතෙන අයත් ඉන්නවා. . ඉතින් මේ මොන හේතුවකින් උසිගැන්විලා හරි යම් කෙනෙකුට අපේ හිත ගියා කියමුකෝ. ඒත් ඒක ආදරේ කියලා නම් හිතන එක නුවණට හුරු දෙයක් නෙමේ. . විරුද්ධ ලිංගික පක්ෂය වෙත හිත ඇදිලා යාම සොබා දහම. ඒත් ඒ හිත ඇදිලා ගිය පළියට ආදරයක් ඇතිවෙයි ද, නැද්ද, සාර්ථක වෙයි ද, නැද්ද, වල් බිහිවෙයි ද, නැත්තම් මල් උයනක් කරන්න පුළුවන් ද කියන එක ඉතා ප්‍රවේශමෙන්, කල්පනාවෙන් හිතලා බලලා කළ යුතු වැඩක්. කථාවක් පවත්වන්න පටන් ගන්න ඕනෑ ම මෝඩයෙකුට වුණත් පුළුවන්. ඒත් අර්ථවත්, හරවත් කථාවක් පවත්වන්න යාම කළ හැක්කේ ඒ ගැන අවබෝධයකින් කථා කරන ටික දෙනෙකුට විතරයි.

ඒ වගේ ආදරයක් පටන් ගන්න ඕනෑ ම කෙනෙකුට පුළුවන්. ඒත් සාර්ථක ලෙස ආදර සම්බන්ධයක්, විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම ලේන්සි නෑ. දෙන ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් සැලසුම් කරගෙන බුද්ධිමත්, පරිත්‍යාගශීලීව කළ යුතු වැඩක්. මිනිස්සු ආදරෙන් බැදෙන ජීවිතය සතුටින් ගත කරන්න. ප්‍රශ්න, වේදනා අඩු කරගෙන, බෙදාගෙන සහයෝගයෙන් ජීවත් වෙන්න. නැතුව හැමදාම කඳුළු බිබී, වේදනාවක තනිවෙලා විඳවන්න හරි, වහ බොන්න හරි හිතාගෙන නෙමේ. කිසියම් කෙනෙක් තමාගේ ජීවිතයට ආලෝකයක්, සතුටක්, ආරක්ෂාවක්, උණුසුමක් දෙයි, සදාකාලිකව ම මාව ආදරෙන් බලා ගනී කියන ප්‍රාර්ථනාවෙන් තමා ඕනෑ ම කෙනෙක් සහකාරයක්/සහකරුවෙක් තෝරා ගන්නේ. ඒත් ඒ තෝරා ගැනීම බොහෝ අවස්ථාවලදී නිවැරදි නො වන නිසා තමා අද ගොඩක් දෙනෙක් විරහා වේදනාවෙන් කඳුළු බොන්නෙ . ඒ නිසා මේ තෝරා ගැනීම ඉතා ම ප්‍රවේශමෙන් කළ යුතු වැඩක් බව ඔබට ම තේරෙනවා ඇති. ඉතින් දැක්ක ගමන් හිත යන පළියට හැමෝ ම එක්ක ආදරෙන් බැදෙන්න හිතුව ම හරි ද? දැකපු ගමන් කොහොම ද කියන මෙයා මට අවශ්‍ය සතුට, උණුසුම, සැනසීම දේවි කියලා? දිවැසින් පේනව ද? නැහැනෙ.


ප්‍රියමනාප කෙනෙක් වෙත හිත යන එක පිළිගත හැකි මිනිස් හැගීමක්. ලස්සන දේට කොයි දෑසත් ළැදියි. ඒත් ඒ ලස්සන රූපෙ ඇතුළෙ ඉනෙ මොන වගේ හදවතක්, ජීවන රටාවක් ඇති කෙනෙක් ද කියලා කොහොම ද එක පාර ම දන්නෙ? මෙහෙම දැකපු ගමන් හිත යන පෙම් සබඳතා බොහෝමයක් ඉතාමත් අසාර්ථක ලෙස වේදනාවෙන් කෙළවර වන බව සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා.බලාපොරොත්තුව, සතුට, පූර්ණත්වය සියයට සියයක් ම ලැබෙන පෙම් සබඳතා ඇතිවෙන්නේ කලාතුරකින්. නමුත් අවශ්‍යතාවන් අන්‍යෝන්‍ය වශයෙන් සමාන මට්ටමකින් ඉටු වෙනවා නම් ඒ ආදරය සාර්ථකයි කියන්නත් පුළුවන්. ඔබ මොනව ද පෙම්වතෙකුගෙන්/පෙම්වතියකගෙන් බලාපොරොත්තු වෙන්නේ? අහිංසකකම, ශීලාචාරකම, ආඩම්බරකම, මිල මුදල්, දෑවැද්ද, ලොකු රැකියාවක්, කාර් එකක, මෝටර් සයිකලේක නැගලා යන්න, සම්බෝලයි බතුයි කාලා පැලකට වෙලා හරි ඉන්න. පුංචි කන්දක් උඩ පුංචි ගෙයක් හදලා ප්‍රීතියෙන් ජීවත් වෙන්න. මේ වගේ දාහක් දේවල් නම් කරන්න පුළුවන්. සුරංගනා ලෝකයන්ගෙන් බැහැලා පොළොවේ අඩිය තියලා අවංකව හිතන්න මොනව ද ඔබේ සතුටට අවශ්‍ය දේවල් කියලා. ඔබේ අනාගත සහකරු ළඟ ඒවා තියෙනව ද? මේ දේවල්වල හොඳ, නරක ගැන පස්සෙ කතා කරමු.

දැනට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් හොඳට තේරුම් ගන්න. කාට හරි හිත යන එක සොබා දහම. ඒක ආදරයක පටන් ගැන්ම වෙන්නත් පුළුවන්. විනාශයක පටන් ගැන් ම වෙන්නත් පුළුවන්. හිත යන එක ආදරේ නෙමේ. හිත ගිය පළියට කෙනෙකුට හිත ගත බිලි දීලා, ජීවිතේ වල්වැදිලා අඩන්න වැඩ සිදු කරන්න එපා. සොබා දහමේ තෑග්ගක් වන විරුද්ධ පාක්ෂික ලිංගික ආකර්ෂණය ඇසුරෙන් කෙනෙකුව පැහැදිලි තක්සේරුවකින් පස්සෙ විතරක් ආදරේ මල් පිපෙන්න ඉඩ අරින්න.ඊළඟට ආදරෙන් බැදෙන්න ඉස්සෙල්ලා ඔබේ අවශ්‍යතාවන් ඉටු කිරිමට ඔහුට/ඇයට පුළුවන් ද කියලා හොඳට හොයලා බලන්න.

එහෙම නැති කෙනෙක් ඔබ විවාහ කරගත්තොත් ඔබ වේදනාව ඉල්ලගෙන කනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අනිත් තැනැත්තාටත් ඔබ කරන අසාධාරණයක්. ඔහුව/ඇයව මරු වැලක පැටලවීමක්.ඒ හින්දා, ඔබෙන් ආදරේ පතන හැම කෙනාට ම ආදරේ දෙන්න ලෑස්ති වෙන්න එපා. හැමෝන්ගෙන් ම ආදරේ බලාපොරොත්තු වෙන්නත් එපා. සීනි බෝල ආදරේට රැවටෙන්නවත්, ඉක්මන් වෙන්නවත් එපා. කඩිමුඩියේ ආදරේකට පැටලුණොත් සමහර විට නිවී සැනසිල්ලෙ ඔබට දුක් විඳින්නත් සිදුවේවි. ගැළපෙන කෙනෙක් හොයාගන්නෙ කොහොම ද කියලා හොඳට හිතන්න.

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු