ගාල්ල කරීටාස් සෙඩ්ගෝල් ආයතනය සංවිධානය කළ  පුහුණු වැඩසටහනකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙසේ පැවැසීය. 

“අපි රසායනික පොහොර තහනම් කළා. කෘෂි රසායනික පාවිච්චි නොකරන රටක් තිබෙනවද? ආණ්ඩුව කිව්වේ ගොවි ජනයා වකුගඩු රෝගයෙන් බේරාගැනීම සඳහා තහනම් කළා කියලා. එහෙමනම් වකුගඩු රෝගීන් වැඩිම නුවරඑළිය දිස්ත්‍රික්කයේ විය යුතුයි. හැබැයි  කෘෂි රසායනික හොඳ දෙයක් නොවෙයි තමයි. නමුත් හැම දෙයක්ම ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම නරකයි.



නිදහසේ සිට අපි කරල තියෙන්නේ අවුල් ඇති කිරීමයි. බේරීම නොවෙයි. ජාත්‍යන්තර අරමුදලෙන් අපි දහසය
වතාවක් ණය අරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල අවසානය වන විට දැවැන්ත
ගෙවුම් ශේෂ අර්බුදයක් තිබුණා. ඊට පස්සේ දෙදහස් නවයේ අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට ගෙවුම්
ශේෂ අර්බුදයක් තිබුණා. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඩොලර් බිලියන දෙදහස් පන්සිය පනස්
තුනක  ණය ගත්තා. යහපාලන ආණ්ඩුව ඩොලර් බිලියන එක් දහස් පන්සීයක ණය ගත්තා. මේ ආණ්ඩුවටත් ගෙවුම් ශේෂ අර්බුදය ආවා.

දැන් මුළු රටම බංකොලොත් වෙන තත්ත්වයට පත් වෙලා. ඒ නිසා රාජ්‍ය පාලකයෙක් ගත්තේ නැති තීන්දු
ගන්න වෙනවා. ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගන්නේ නැහැ කිව්වම ලංකාවට ණය දීම ගැන සැක පහළ
කරනවා. ජාත්‍යන්තර අරමුදල ණය දෙන්නේ සියයට දශම පහයි බින්දුවටයි. පොලිය නැති තරම්. ඒත් ණය
ගන්න සූදානම් නැහැ.



මහජන වරම ලැබුණාම ඕන දෙයක්  කරන්න බැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්තය කිව්ව මට කරන්න බැරි
ගැහැනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගෑනියෙක් කරන්නයි බැරි එක විතරයි කියලා. හැම නායකයෙක්ම
බලන්නේ රට මට අයිති කියලයි. හැත්තෑ හත වන තුරු අපේක්ෂකයකුට වියදම් කිරීමේ උපරිමය රුපියල් පනස් දහසයි. එම වාර්තාව මැතිවරණ දෙපාර්තමේන්තුවට දෙන්න ඕන. දෙදහස් පහළොවේ ජනාධිපතිවරණ
අපේක්ෂකයකුගේ වියදම රුපියල් බිලියන තුනයි. එය කොහෙන්ද සොයා ගත්තේ. ප්‍රධාන වශයෙන් කළු සල්ලි
මේ අශීලාචාර හැත්තෑ අටේ සිටම තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කවුරුවත් නැහැ.

අපි නිදහස ලබා ගත්තේ රණ්ඩු කරලා නොවෙයි. තෑග්ගක් හැටියට ලැබුණා. එදා ඩී.එස්.සේනානායකගේ
සිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. දූෂණය කළා. අද තියෙන්නේ කැබලි වූ රටක්. සොයා
නොගත් බිහිසුණු අපරාධ වී තිබෙනවා. නීති සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා. නඩු
ප්‍රමාදය විනිසුරුවන්ට දරා ගන්න බැහැ. ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් රීට්
ආඥාවක් ගත්තා. පාර්ලිමේන්තුව ඒකට පයින් ගැහුවා.



මේ විනාශයට දෙදහස් පහළොවේදී මිනිසුන්ට වෙනස් ක්‍රමයක් අවශ්‍ය වුණා. නමුත් වුණේ නැහැ. හරිම
දූෂිත දේශපාලන ක්‍රමයක්. මෙච්චර ප්‍රශ්න තිබියදීත් පාරවල් හදනවා. ඉදිරියේ සාගතයක් එනවා.
පුළුවන් අය රට අත හැරලා යාවි. මොකුත් කරගන්න බැරි අය ඉතිරි වෙයි. මේ ක්‍රමය වෙනස් කිරීමේ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොව මහජනයාටයි. රටක් විනාශ
වෙච්ච යුගයක පවා හම්බ කරන්න හදන පාලකයන්ට රටක් හැදීමට බැහැ. මහජනයා බලාගන්නා නායකයන්
 අවශ්‍යයි. එවැනි නායකයන් හදා ගන්න අප උත්සාහ කළ යුතුයි.”


ගාල්ල - ෆර්හාන් නිසාම්දීන්