2022 වසර සඳහා නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනා සහ අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද, නොවැම්බර් 12 වැනිදා  පස්වරු 2 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.


බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ද

මෙය වන අතර
 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාළ පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.
නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව. 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. දෙසැම්බර් 10 වන දින ප.ව. 5.00ට තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කෙරේ.