ambalangoda-incident

අම්බලන්ගොඩ, අකුරල, ගල්දූව, ආරණ්‍ය සේනාසනයට යන මාර්ගයේ ගල්දූව මැටි දූව ප්‍රදේශයේ පසුගිය මස (ඔක්තෝබර්) 14 වැනි දින ගෙල කපා පුද්ගලයකු මරා දමා නිබිණි. රාත්‍රී කාලයේ සිදු කර තිබූ මෙම ඝාතනය පිළිබඳ මිටියාගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර එහිදී මිය ගිය පුද්ගලයාගේ වංහුං සොයා ගැනීමට හැකිවිය.  ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයා නින්දාන, කොරන්විල ප්‍රදේශයේ අයකු බවත් ඔහුගේ නම විතාන උජීත් ලක්ෂිත බවත් තහවුරු වූ අතර විවාහක පුද්ගලයකු වුවත් බිරිය ඔහුගෙන්  වෙන්වී මැදපෙරදිග රැකියාවක යෙදී සිටින බවද හෙළිවිය.මොහුට දරුවන් දෙදෙනකු සිටියත් ඔවුන් ජිවත්වූයේ පියා සමග නොව ආච්චි සීයලා සමගය. මොහු ජීවත් වූයේ තනිවමය.  මියගිය අය පිළිබඳ තොරතුරු සොයාගත්  පොලිසිය ඔහු ආශ්‍රය කළ මිතුරන් කවුදැයි සොයාබැලීමට කටයුතු කළේය.  උජිත් ලක්ෂිතට මිතුරන් රැසක් හිටියත් සමීපව ඉන්නේ එක් අයකු බවත් ඒ ගලගොඩ ගැලවීමේ හමුදා සුනාමි නිවාසවල පදිංචි අයකු බවත් තහවුරු විය




උජිත් ලක්ෂිත එම මිතුරdගේ නිවසට නිතර ආ ගිය බවටත් කරුණු අනාවරණය විය.  නිවෙසේ හිමිකරු වූයේ සමන් කුමාරයි. ඔහු ගතකළේ තමන්ගේ ජීවිතයේ 40 වැනි කඩඉමයි. උජිත් සහ සමන් කුමාර හොඳ යහළුවන් විය. ඔහුගේ මිතුදම වසර හයක්පමණ පැරණිය. ඔවුන් දෙදෙනා මෙසේ මිතුරු දමින් වෙළී සිටින අතරතුර සමන් කුමාර විවාහ ජීවිතයට එක් විය. එසේ වුවද එය ඔවුන්ගේ මිතුරු දමට ප්‍රශ්නයක්වූයේ නැත. මේ වනවිටඋජීත් විවාහ දිවියට එක්ව සිටියත් එය සාර්ථක එකක් නොවීය.

උජිත් ලක්ෂිතට දාව  දරුවන් දෙදෙනකු සිටියත් ඒසියල්ල අතහැර දමා උජිත්ගේ බිරිය විදේශ රැකියාවකට ගිය අතර දරු දෙන්නා සිටියේ ඥාතීන් සමගය. සමන් කුමාරගේ රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි. බහුදින ධීවර යාත්‍රාවක සේවය  කරන නිසා ඔහු වැඩි හරියක් හිටියේ මහ මුහුදේ ය. ඔහු තම මිතුරාට පවසා සිටියේ තමන් මුහුදු ගිය අවස්ථාවල තම දරු පවුල පිළිබඳ සොයා බලන ලෙසය. මේ තොරතුරුවලට ලක්ෂිත ඝාතනයේ සැකය සමකුමාර වෙත යොමු විය. ඒ මන්ද යත් ප්‍රදේශවාසීන් දුන් තොරතුරු අනුව සමන් කුමාරගේ බිරිය සමග උජිත් ලක්ෂිතගේ යම් සම්බන්ධතාවයක් තිබූ බැවිනි.


එමනිසා පොලිස් නිලධාරීන්, සමන් කුමාර සොයා ඔහුගේ නිවසට ගියත් ඔහු ගැන තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.නමුත් සමන් කුමාර සිටින තැනක හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූ අතර මිටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට,ගලගොඩ ප්‍රදේශයෙහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය, මේ වනවිටත් උජීත්ගේ සිරුර බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තබා තිබුණේ කරන ලද ජීසිආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීම නිසාය.  ඉන්පාසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කැපීම හේතුකොටගෙන අධික රුධිරය වහනය වීමෙන් මරණය සිදුවී ඇති බවට බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් තහවුරු කරනලදී. සමන්කුමාර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලත් ඔහු සිද්ධිය සම්බන්ධව කිසිත් ප්‍රකාශ කළේ නැත.පොලිස් නිලධාරින්ගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ සමන් කුමාර හඬ අවදිකරන්නට විය.




'සර් උජීත ලක්ෂිත මගේ යාළුවා තමයි.  අවුරුදු හයක් විතර ආශ්‍රය කරනවා,එයා  නිතරම අපේ ගෙදර එනවා. ඉතින් යාළුවා නිසා මම කැමති වුණා එයා අපේ ගෙදර එනවට. මොකද මම නිතරම ගෙදර නැහැ, මුහුදුයනවා,   එන්නේ ගොඩ දවස් ගිහිල්ලා.සමහරවිට මාසයක් පමණක් වෙනවා.  "ඒදවස්වල අපේ ගෙදරට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා.එයාරස්සාව හැටියට කළේ කුරුඳු තැලීම යි. ඉතින් මම එයාට කියලා තිබුණේ ගෙදරට උදව් කරන්න කියලා,මම මුදුගිහින් ආවට පස්සේ අපි දෙන්නා සෙට් වෙනව.  පස්සේ මට අජිත්ගේ හැසිරීම ගැනත් මගේ පවුලගේ හැසිරීම ගැනත් සැකයක් ඇති වුණා. මේ සම්බන්ධව පිටස්තර අයගෙන්ද එක එක කතා ආරංචි වුණ'


'මම දවසක් පවුලගෙන් ඒ ගැන විමසුවා.එයා මොකුත් කීවේ නැහැ. මම කීප  වතාවත්ම කිව්වා එවැනි සම්බන්ධයක් තියෙනවානම් නවත්තන්න කියලා.මම උජීතට මේ ගැන මොකුත් කිව්වේනැ, පවුල  එයාට කියා තිබුනෙත් නෑ. කොච්චර අවවාද කළත් මගේ පවුල ඒ සම්බන්ධකම අතහැරලා තිබුනේ නැහැ. ඉතින් මම තීරණයක් ගත්තා උජීත්ට ගේමක් දෙන්න ඕන කියලා, මට මගේ පවුල ගැන තරහක් ආවත් මං එයාට මොකුත් කරන්න හිතුවේ නැ.මොකද දරුවො දෙන්න නිසා.නැත්නම් මම ඒ ගැනි මරනවා. මම හිරේ යනනිසා දරුවෝ අනාත වෙන නිසයි එහෙම කළේ නැත්තේ


"උජීත්ට ගේම දෙන්න මම  අම්බලන්ගොඩ කඩේකින් පිහියක් ගත්තා. එදා ඔක්තෝබර් 14දාම අපේ පවුලටයි ළමයින්ටයි කිව්වා හවස අකුරල බීච් එකට යමු කියලා. මගේ පවුලයි දරුවො දෙන්නයි ත්‍රීවිල් එහෙක බීච් එකට එක්කගෙන ගියා. මම උජිත්ට  එන්න කිවා.එය ආවා, එයාලා මුහුදේ නාන අතරේ මම ගෙනැත් තිබූ අරක්කු බෝතලයක් උජිත් එක්ක එකට බිව්වා”  "මම අරක්කු බෝතලේ දාගෙන ආපු බැග් එකේම තමයි පිහියත් දාගෙන ආවෙ .රෑබෝ  වෙන නීසා මම ළමයින්ටයි පවුලටයි ත්‍රීවිල් එකකින් ගෙදර යන ලෙස කිව්වා. අපි අරක්කු බෝතලේ ඉවර වෙනකම්ම බිව්වා. පස්සේ උජීත්ගේ බයික් එකේ පිටුපස ගෙදර යන්න ගියා. මම කිව්වා ගල්දූව පාරෙන් යමු කියලා.''




"අපි 7ට විතර යන්න පිටත් උනා, මම උජිතට කීවා මාව ගෙදරට ගෙනයන්න කියලා. මම උජිත්ගේ බයික් එකේ පිටුපස නැගලා ගල්දූව ආරණ්‍ය පාරේ, මැටිදුව හරියට ආවා"  'ඒ හරියේ ගෙවල් නැ.පාලුයි. රෑට මේ පාරේ කවුරුත් වැඩිය යන්නේ නැහැ. ඉතින් ඒ හරියට යනකොට මටමුත්‍රා කරන්න ඕනෙයි කියල මම කිව්වා.උජිත් බයික් එක නතර කරා. ඒ එක්කම වගේ මම පිහිය අරගෙන උජීත්ගේ බෙල්ල හරිය කපලා දැම්මා.කපනවත් එක්කම උජීඒ පිහිය ඇල්ලුවා, මම පිහිය ඇදලා ගත්තා. ඒ එක්කම උජිත් මුනින් අතට බිමට වැටුනා. බයික් එක අනිත් පැත්තට පෙරලුනා.ඊට පස්සේ මම ආපස්සට ඇවිත් ලේ ගැවිච්ච ඇඳුම විසි කළා. නාන්න අඳින්න අරගෙන ආපු ඇඳුම්  ඇඳගෙන ගෙදර ගියා. ඒ යන අතරතුර මම පිහිය බුදු පිළිමය අසල පාරේ තිබුණ බෝක්කුවට විසිකළා."  


සමන් කුමාර ගිරවකු සේ සියල්ල හෙළි කළේය. බෝක්කුව පරික්ෂා කිරීමේදී පිහිය සොයාගැනීමට හැකිවිය.   වනවාසීව සිටින ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා රැසක් භාවනායෝගීව වැඩ සිටින පින්බිමක් අසන්නයේ මෙවන් සිද්ධියක් ඇතිවීම ඉතාමත් කනගාටුදායකය.කෙසේ වෙතත් කළ අපරාධය වැඩි කාලයක් ගත නොවී අනාවරණයකර ගැනීමට හැකිවූයේ මෙවන් නිස්කලංක වනවාසි පරිසරයක් ලෙයින් තෙත් කළ අය නීතියේ රැහැනට කොටුවූයේ මෙවැනි පරිසරයක් මෙවන් අපරාධවලට එකග නොවන බව කියා පාන විලසටයි.   බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හන්සදේව සමරදිවාකර මහතා, නීයෝග කරන ලදී. මියගිය අය කොවිඩ් ආසාදිතයකු වූ නිසා කොවිඩ් නීතිවලට අනුව ආදාහනය කරන ලදී.


-අනුරාධ ප්‍රියදර්ශන-