The-reason-why-4-gas-cylinder-explosions-were-reported-in-a-month-was-due-to-a-change-in-the-cylinder-composition

ගෑස් සිලින්ඩර් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ මාසයේ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. අද (25) දින පන්නිපිටියේ නිවසක පිපිරුමක් වාර්තාවීමට පෙරාතුව නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා විය.
මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව  එහි ගෑස් සංයුතිය වෙනස් කිරීම යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අද (25) පැහැදිලි කර තිබේ.



ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් ඇති රටක ගෘහස්ත ගෑස් සිලින්ඩරවල තිබිය යුත්තේ ප්‍රොපේන් වායුව අඩුවෙන් වුවත් පසුගිය සමයේ එම සංයුතිය සියයට පණහ පණහ වන පරිදි වැඩි කිරීම හේතුවෙන් සිලින්ඩර තුළ පීඩනය වැඩි වී සිලින්ඩර පුපුරා යන බව ද ගුණවර්ධන මහතා කීය.

බියුටේන් සියයට අසූවක් හා ප්‍රොපේන් සියයට 20 වශයෙන් පැවැති ගැස් සිලින්ඩර සංයුතිය ගෑස් සමාගම් විසින් සියයට පණහ පණහ ලෙස වෙනස් කළ අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වූ බවත් එය භයානක තිරණයක් බව පෙන්වමින් තමන් ඉකුත් ජුනි 26 වැනිදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යැවූ බවත් හෙතෙම කියා සිටියේය.

විශේෂයෙන් ප්‍රොපේන් වායුව බියුටේන් වායුවට වඩා සිව් ගුණයකින් පීඩනය වැඩි බව පෙන්වා දුන් ඔහු වර්තමානයේ ගෑස් සිලින්ඩරවල පවතින සංයුතිය ශීත රටවල පවතින සංයුතිය යැයි ද පැවැසීය.



ගෑස් සමාගම හිටි අඩියේ මෙම සංයුතිය වෙනස් කිරීම සිදුකරන ලද්දේ කිසිදු විශේෂඥ මතයක් විමසීමකින් තොරව බවත් ඒ අවස්ථාවේ තමන් එම සංයුතිය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මතය විමසා මෙසේ අමාත්‍යවරයා වෙත ලියා යැවූ නමුත් ඔවුන් එය පිළිනොගත් බවත් ගුණවර්ධන මහතා කීය.

මේ වැරදි තීරණ නිසා දැන් ගෑස් පාරිභෝගිකයින් පීඩාවට පත්ව ඇති බැවින් හා ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගත යුතු බැවින් ඉක්මණින් ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කරන්නට පියවර ගත යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

(තොරතුරු - විනීතා එම් ගමගේ - ලංකාදීප)