The-phone-is-a-snake-that-parents-give-to-their-children

සතෙන් සතේ ඉතිරි  කරල, ඉතිරි  කරල... රූපවාහිනියෙන් කාලෙකට ඉස්සර නිතර ම විකාශනය වූ ඒ වෙළෙඳ දැන්වීම අපට දුන්නේ ලොකු පණිවුඩයක්. විශේෂයෙන් ම අපේ අනාගතය බාර ගැනිමට සුදානමින් ඉන්න ළමා පරපුරට ලොකු හැඟීමක් ඇති කළා.  පුංචි කාලයේ ඉඳල ඉතිරි කරන්න ඉගැන්වීමට හොඳ පණිවුඩයක් ලබා දුන්නා.   පුංචි පැල්පතක මැටි ගහපු බිත්ති කණ්ඩියක වාඩි වෙලා කිලිටි ගවුමක් ඇඳගෙන හිටිය දුගී දියණියක් තමන් අතට ලැබුණු කුඩා මුදල කැටයක ඉතිරි කිරීමට යොමු කරපු ඒ දැන්වීම ගමේ විතරක් නෙමෙයි නගරයේ දූ දරුවන් පවා ඉතිරි කරන්න යොමු කළා. විශේෂයෙන් ම අද අපේ දරු දැරියන්ට මුදල් ඉතිරි කිරීම ගැන දැනුමක් නැහැ. ඉතිරි කරනවා වෙනුවට තමන් සතු සියල්ල වියදම් කිරීමට ඔවුන් පෙලඹිලා.


මේ තත්වයට වැඩිහිටියන් වගකිව යුතු බව අප කවුරුත් පිළිගත යුතු වෙනවා. මඳක් සිතා බලන්න. බොහෝ පාසල් දරුවන් අත පවා ජංගම දුරකථන දකින්න තිබෙනවා.

ජංගම දුරකථනයක් ඔවුන්ට අවශ්‍යම ද? බොහෝ මව්පියන් දරුවන්ට ජංගම දුරකථන ලබා දී ඇත්තේ දරුවාගේත් තමන්ගේත් සන්නිවේදන පහසුවට යි. එහෙත් ජංගම දුරකථනයක් භාවිත කරන දරුවා බොහෝ විට සමාජයට  නොගැලපෙන දේ සඳහා යොමු වීමටත්, අධික ලෙස මුදල් වැය කිරීමටත් පෙලඹෙනවා.  මවත් පියාත් දෙදෙනාම රැකියාවේ නියුතු වූ විට ඇතිවන තත්වයක එක් ප්‍රතිඵලයක්  ලෙස ද අපට මෙය හඳුන්වා දීමට පුළුවන්. එසේම පාසල් යන දරුවාට ආපනශාලා මගින් ආහාර ගැනීමට හුරු කිරිම, විශේෂයෙන් ක්‍ෂණික ආහාර සඳහා දරුවන් යොමු කිරීමේ ප්‍රතිඵල  බෙහෙවින් භයානක වීමටත් ඉඩ තිබෙනවා. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරය වෙනුවට කෘත්‍රිම රසකාරක  යෙදූ ආහාර ඔවුන් මිල දී ගැනීමයි. ඊට මිත්‍රයන්ගේ පෙලඹීමත් එක් හේතුවක්. තවත් හේතුවක් වන්නේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ යයි.

මෙහි දී දරුවාගේ මනස අධික ලෙස පිරිහෙනවා. එවන් දේ ආහාරයට ගැනීමෙන් තමන් උසස් පුද්ගලයෙක් වේ යැයි මිථ්‍යා දෘෂ්ටියක් ඔහු තුළ ඇතිවෙනවා. මානය ඔහුගේ සිත තුළ ඇති  වෙනවා. විශේෂයෙන් ම අන් අයට වඩා තමන් උසස් යැයි සිතනා "සෙයිය මානය” ඇති වෙනවා.   මෙය ඉදිරි පරපුර බාරගෙන සමාජයට වගකීම් ඉටු කිරීමට බලාපොරොත්තු වන දරුවකගයෙන් සිදුවිය යුත්තක් නොවෙයි. එවන් මිථ්‍යා දෘෂ්ටියක් ඇති කර ගත් දරුවකුගෙන් අපට සතර සංග්‍රහ වස්තු බලාපොරොත්තු වන්න පුළුවන් ද? සමගිව ජීවත් වීමට අන්‍යයන් හා සමග සුහදව ජීවත් වීමට, සාමය රැකගෙන 'සිගාලෝවාද සූත්‍රයට අනුව දිවි ගෙවීමට ඔහුට හැකියාවක් ලැබේවි ද?   මේ තත්වය වැඩිහිටියන් මැනවින් අවබෝධ කර ගත යුතු යි. මෙවන් පරිසරයක් නිර්මාණය කරන්නේ අපම නොවේද?


අලසකම පිරිහීමට හේතුවක් බව දහමේ දැක්වෙනවා. “ඉතා සීතලය, ඉතා රස්නය", යනුවෙන් කටයුතු නොකළ යුතු වනවා. අලුයමින් පිබිදී දරුවන්ට සුදුසු ආහාර වේලක් සකස් කර දීමට විශේෂයෙන් ම, මට වග බලා ගත යුතු වෙනවා...  දරුවන්ට ආහාර ලබා නොදී මුදල් අතට දුන් විට බොහෝ දරුවන් මව්පියනට ඉතිරි මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් තමන්ට ලබා දුන් මුදල් වියදම් වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. එයින්  ඔවුන් මුසාවාදයට පෙලඹෙනවා. රැවටීමට යොමු වනවා. මේ නිසා පාසල් දූදරුවන් මුදල් පරිහරණයට යොමු කිරීම සමාජ ව්‍යසනයට හේතු සාධක වනවා. මුදල් ලබා ගැනීමට නොහැකි වූ විට සොරා ගැනීමට පවා පෙලඹෙන්නට පුළුවන්. එවිට අප දූ දරුවන් සමාජයේ ඉදිරි මගකට ගෙන යාමට හැකියාව ලැබේවි ද? මුදල් අතට ලැබීම නිසා තම මිතුරන් සමග අනිසි ගමන් යාමටත් දූ දරුවන් පෙලඹිලා.




අනිසි මුදල් පරිහරණය නිසා දූ දරුවන් තමන්ගේ සීමාව ඉක්මවා ගොස් කටයුතු කරනු ලබන බව අපට මාධ්‍ය මගින් වාර්තා වනවා. මෙහි දී පාසල් පද්ධතියටත් විශාල වගකීමක් තිබෙනවා.  බුදුරජාණන් වහන්සේ "සිගාලෝවාද සූත්‍රයෙන්" පැහැදිලිව දක්වා ඇත්තේ සිසුවා යහපතෙහි යෙදවීම’ ගුරුවරයෙකුගේ යුතුකමක් ලෙස යි. එමනිසා සිසුන් අතර පැවැත්වෙන ප්‍රියසාද මෙන්ම ඔවුන්ගේ විය පැහැදම් ගැන ඔබය. මෙම ගුරුවරුන් ද අවධානය යොමු කළ යුතු වෙනවා.  දරුවන් අතර මුදල් ගැවසෙනවා යැයි කියන්නේ සැබැවින් ම ඔවුන්ට සර්පයෙක් ලබා දීම යි. දරුවන්ගේ සාක්කුවට සපයන් දැමීම යි. මේ නිසා දූ දරුවන් සැමවිට ම මුදල් ඉතිරි කිරීම සඳහා  යොමු කළ යුතු වෙනවා. හදිසියේ මව, පියා රෝගාතුර වුවහොත් පාසලේ හෝ පවුලේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් තමන් ඉතිරි කළ මුදල් ලබා දී එම අවශ්‍යතාවය ඉටු කිරීම දක්වා මනස මෙහෙයවා කටයුතු කිරීමට දරු දැරියන් පුරුදු පුහුණු කළ යුතු වනවා.  විශේෂයෙන් ම දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරනවා සේ ම මව්පියන් කිසිවිටෛක මුදල්වලින් දරුවන්ට ආදරය නොකිරීමට කටයුතු කළ යුතුයි.


එමෙන් ම, පාසල් පද්ධතියේදීත් දරුවන් මගින් මුදල් ලබා ගැනීම නොකර හැකි සැමවිටම මව්පියන් ඒ සඳහා දායක කර ගැනීම ඉතාම වැදගත් වනවා.  ඉතිරි කර ගත් මුදලින් දරුවාගේ යහපතට යමක් කරනවාට වඩා ඔහු යහපත කරා යොමු කිරීමට කටයුතු යෙදීම දරුවන්ට බෙහෙවින් වැදගත් වනවා.  දරුවකු ඉතිරි කර ගත් මුදලින්, දරුවාගේ උපන් දිනය යෙදුණවිට දුගී දරුවකුට තම දුව පුතා මගින් ම ඇඳුමක් හෝ අධ්‍යාපනික උපකරණ ලබා දීම හෝ සීල සමාදානයෙහි යෙදෙන වැඩිහිටියකුට අවශ්‍ය වස්ත්‍රයක් හෝ ලබා දීම මගින් දරුවාට අභිමානයක් ඇති වෙනවා. තමන් උසස් පුද්ගලයෙක් යන හැගීම ඔහු තුළ ඇතිවනවා. දානය, ප්‍රියවචනය වැනි ගුණ දහම් ඔහු තුළ වර්ධනය වනවා.  ඉතිරි කිරීම සම්බන්ධව ලෝකයේ ඉහළ ම දැනුම ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින්.

ඒකෙන භොග භුඤ්ජෙය්‍ය - ද්ව්හි  කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය - ආපදාසු භවිස්සති

'ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර වදාළේ උපයනු ලබන ධනය කොටස් හතරකට බෙදා වෙන් කර එක් කොටසක් එදිනෙදා පරිභෝජනයට යොදා ගන්නා ලෙසයි. කොටස් දෙකක් ව්‍යාපාරයන්හි වෙළහෙළඳාම් ආදියෙහි ආයෝජනය කළ යුතු බවත් ය. ඉතිරි කොටස හදිසි ආපදා අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට සුරැකිව තබන ලෙසත් දහමෙහි දැක්වෙනවා.  මෙය උපයනු ලබන ධනය ආරක්ෂා කර දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආරක්ෂාකාරී මාර්ගයක්. මව්පියන් වැඩිහිටියන් නිරතුරුවම තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ තම දුව, පුතා මෙම මාර්ග යට යොමු කිරීමට තමන් කටයුතු කරන්නේ ද යන්න යි.




අපේ රටේ ඉතිහාසය ගෙන බලන්න. ධාතුසේන රජු පුතාට (කාශ්‍යප) තමන් ඉපැයූ ධනය, වස්තුව ලෙස පෙන්වා දුන්නේ කුමක් ද? රජරට පෝෂණයට අදත් උර දෙන කලා වැව යි. කාශ්‍යප කුමරුට පියාගේ ඒ වස්තුව ගැන  දැනුමක් තිබුණේ නැහැ. ඇළ, දොළ, වැව් පොකුණු ඉදි කිරිම මෙන්ම පැළයක් රෝපණය කිරීම මගින් අපට ධනය, වස්තුව ඉතිරි කිරීමට දායක වන්නට පුළුවන්.  ඉතිරි කළ යුත්තේ ධනය පමණක් ම නොවේ. ආර්ථික වශයෙන් මුදල් වැදගත් වුවත්, අපගේ අනාගතය සරුකර ගැනීම පිණිස සමාජය යහපත් බවින් පෝෂණය කරා ගෙන යාමට ගුණ දහම් වර්ධනයට කටයුතු කළ යුතු වෙනවා.  " ඉතිරි කිරීම එහි එක් අංගයක් පමණයි. අපට ලැබෙන ශක්තිය සමාජයේ බොහෝ වැඩ කටයුතු සඳහා  යොදා ගැනීමට ඉතිරි කිරීම බෙහෙවින් ඉවහල් වන බව අප සැමවිට ම තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිසි ධනය උපයන හා ආරක්‍ෂණ මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ එවිටයි.

- පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි