කෙසෙල්වත්තේ පදිංචි මොහොමඩ් අබුබක්කර් රියාෆ් මහ වැස්සේ තෙමි තෙමී හැඬූ කඳුළින් පෙරේදා (9 වැනිදා) උදේම කෙසෙල්වත්ත පොලිසියට දිව ආවේය. ඒ තම දියණියන් දෙදෙනා හා ඥාති දියණිය අතුරුදන් බව කියමිනි. අතුරුදන්ව ඇත්තේ බාලවයස්කාර දැරියන් නිසා පොලිසියට මෙය ලොකු ප්‍රශ්නයක් විය.

අතුරුදන් වී තිබුණේ මොහොමඩ් අබුබකර්ගේ දියණියන් දෙදෙනා සහ ගම්පොළ සිට පැමිණි ඔවුන්ගේ ඥාති සොයුරියක වන මොහොමඩ් අසාමි ෆාතිමා මරියම් (13) යන තිදෙනාය.

පොලිසිය මොහොමඩ් අබුබකර්ගේ නිවස අසල සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී දැකගත හැකිවූයේ දැරියන් තිදෙනා සිය ඇඳුම් බෑග්ද රැගෙන සිය කැමැත්තෙන්ම ගෙදරින් පිටවී යන ආකාරයයි. ඒ අනුව මොහොමඩ් අබුබකර්ගේ ඉල්ලීම පිට පොලිසිය වහාම මේ ගැන මාධ්‍ය ආයතනවලට දැනුම් දී දැරියන් තිදෙනාගේ ඡායාරූප විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමයි.



කෙසේ වෙතත් දැරියන් තිදෙනා නිවසින් අතුරුදන් වී පැය තිස්අටකට පසුව එනම් පෙරේදා රාත්‍රි 10ට පමණ කෙසෙල්වත්තේ තම නිවසට පැමිණ තිබුණි. දැරියන් තිදෙනා ගියේ කොතැනද සිටියේ කොහේද? ගියේ කුමකටද හෙළි වූයේ ඉන් පසුවය.

මොහොමඩ් අබුබකර් සිය බිරිඳ හා දියණියන් දෙදෙනා සමග පදිංචිව සිටියේ කෙසෙල්වත්ත පොලිසිය අසල මාරිස් වීදියේ පිහිටි සිය නිවසේය. පුරුද්දක් හැටියට පාන්දර 5ට අවධි වී දෙවියන් නමදීම පවුලේ සියලුදෙනාගේම පුරුද්දය. දෙවියන් නැමදීමෙන් පසු රියාස් ත්‍රිරෝද රථ රැකියාවට යන්නේය.

පසුගිය 8 වැනිදා උදෑසන අවදි වූ මෙම පවුලේ සියලුදෙනා උදෑසන දෙවියන් නමැදූහ. එදින ගම්පොළ ඥාති දැරියද නිවසට පැමිණ සිටියාය. උදෑසන හතවන විටත් නින්දේ සිටි දරු තිදෙනා උදෑසන 8 වන විට කාමරයේ නොසිටියහ. නමුත් දරු තිදෙනා ගැන එදින සවස්වනතුරුම කිසිඳදු හෝඩුවාවක් නොතිබුණි. දරුවන් පසුදා වනතුරුම නිවසට නොඒම ගැන පියා කළ පැමිණිල්ලට අනුව පොලිසියට අමතරව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයත්, විශේෂ අපරාධ විමර්ශන ඒකකයත්, බුද්ධි අංශත් පුළුල් මෙහෙයුමක් දියත් කළේය.

එම විමර්ශන සිදුවන අතරවාරයේ ඉස්ලාමීය සම්ප්‍රදායික ඇඳුම් හැඳ සිටි මෙම දරුවන් තිදෙනාම ඩෙනිම් ටී ෂර්ට් හා කැප් ද පැලඳ පෙරේදා (9 වැනිදා) රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණියහ. ඒ වනවිටත් කෙසෙල්වත්ත පොලිසියත් කොළඹ මධ්‍ය අපරාධ විමර්ශන කාර්යංශයත් දරුවන් සිටි කාමරයට ගොස් පරීක්ෂණ සිදුකරමින් සිටියේය. දැඩි බියෙන් හඬා වැළපෙමින් සිටි මවට දරුවන් දුටු වහාම යක්ෂාරූඪ විය. දැරියන් තිදෙනා ​හොඳ හැටි ගුටිනොකා බේරුණේ වාසනාවට පොලිසියට එහි සිටීම නිසාය.

අතුරුදන් වූ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනා කොළඹ මුස්ලිම් පාසලක අටවැනි ශ්‍රේණියේ සහ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති. අනෙක් ඥාති සොහොයුරිය ගම්පොළ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක අටවැනි ශ්‍රේණියේ සිසුවියකි. ඇය කෙසෙල්වත්ත ඥාති නිවෙසක් වෙත ඉකුත් 31 වැනිදා පැමිණ තිබුණේ පසුගිය (4 වැනිදා) වැල්ලවත්තේදී පැවැති ඔවුන්ගේ නැන්දණියකගේ විවාහ මංගල්‍යක් සඳහාය. ඊට සහභාගි වී පාසල් පටන් ගන්නා තෙක් මෙම නිවෙස් රැඳී සිටියාය. මෙම දැරියන් තිදෙනාම කොරියාවේ බ්ලැක් පින්ක් නමින් ප්‍රසිද්ධ පස්දෙනෙකුගේ ගායන හා නර්තන කණ්ඩායමකට ආවේණික ප්‍රසිද්ධ විලාසිතාවක් හැදෑරීමේ ආශාවෙන් පසුවූහ. ඉස්ලාමීය සම්ප්‍රදානුකූල ඇදුම් පැලඳුම් ඇඳීම ඔවුන්ට අප්‍රිය වී තිබුණි.

ඔවුන් නිරන්තරයෙන් මුහුණුපොත හා යූ ටියුබ් මගින් කොරියානු සංගීත හා නර්තන කලාව විලාසිතා අනුගමනය කරමින් නිවෙසේ කල්ගත කරන්නට වී ඇත. මීට දරුවන්ගේ දෙමාපියන්ගෙන්ද දැඩි විරෝධයක් පළවී තිබුණේ එය ඉස්ලාම් ආගමට අනුව සිදුකළ යුත්තක් නොවන බව කියමිනි. නිවෙසින් එළියට හෝ බැස යාමට ඉඩනොදී තම නිදහස දෙමාපියන් අහිමි කර ඇති බවට මෙම දරුවන් තුළ තිබී ඇත්තේ දෙමාපියන් කෙරේ වෛරයකි.



මේ අනුව කොරියානු සංගීත හා නර්තන කලාව එම විලාසිතාවන්ට අනුගත ඇඳුම් ද පැළඳ හැදෑරීමට හැකි ස්ථානයක් සොයා මෙම සොයුරියන් තිදෙනා පසුගිය 08 වැනිදා උදෑසන 08.30 ට පමණ කොළඹට පැමිණ ඇත. පසුව කොළඹ රථ වාහන මූලස්ථානය අසලට පැමිණ එහි සිට විහාරමහාදේවි උද්‍යානයට ගොස් කඩයකින් ගත් ආහාර ද අනුභව කර නැවතත් පිටකොටුවට පැමිණ ඇත. පිටකොටුවේ රත්‍රන් බඩු මිලදී හා උකස් කරගන්නා ස්ථානයකට ගොස් ඇති මෙම දැරියන් තිදෙනා ඔවුන් අතැති රන් මුදු තුනක් අලෙවි කර රුපියල් හැට අටදහසක් ලබාගෙන ඇත. අනතුරුව සුපිරි අවන්හලකට ගොස් ආහාර ගෙන ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසැලකට පැමිණ කොරියානු සංගීත හා නර්තන කලාවට අවේණික විලාසිතා ඇදුම් වන ඩෙනිම් ටී ෂර්ට් කැප් ඇතුළු භාණ්ඩ මිලදීගෙන හැද සිටි මුස්ලිම් සම්ප්‍රදායික ඇඳුම් ගලවා ඉවත් කර ඒ වෙනුවට මිලදීගත් එම ඇඳුම්වලින් සැරසී විහාරමහාදේවී උද්‍යානය ඇතුළු කොළඹ නගරයේ ස්ථානවල ඇවිද තිබේ.

මෙම විලාසිතා හා සංගීත කලාව උගන්වන තැනක් නොදන්නා හෙයින් හිතුමතේ ගොස් තැනක් සොයා ගැනීමට කල්පනා කර ඇති මෙම දැරියන් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළ වෙත පැමිණ පස්වරු 05.30ට පමණ අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කර ඇත. එසේ යන අතර ඒ බසයේ යාබද අසුනක සිටි වැඩිහිටි පිරිමි පුද්ගලයෙකුගෙන් තමන්ට නැවතීමට තැනක් සොයාදෙන්නැයි පවසා ඔහු හා කතාබහට වැටී තිබේ. එම පුද්ගලයාගේ චර්යාව ගැන බස් රථයේ කොන්දොස්තරවරයාද ඇස ගසාගෙන සිට ඇත.

එහිදී ඇතිවූ සැකය මත බස් රථයේ කොන්දොස්තරවරයා රාත්‍රී 11.30ට පමණ බසය අනුරාධපුරයට පැමිණීමෙන් පසු දැරියන් තිදෙනා හා කතා කර ඔවුන්ව මන්නාරමේ සිට අනුරාධපුරය හරහා කොළඹට ධාවනය වූ වායු සමීකරණ බස් රථයකට නංවා ඇත්තේ එම දැරියන් තිදෙනා අතරමග කිසිම තැනක නොබස්සවන ලෙසට එම බසයේ රියදුරු හා කොන්දොස්තර පෞද්ගලිකව කියමිනි. ඒ අනුව පෙරේදා (09 වැනිදා) උදෑසන 07.15ට පමණ නැවතත් කොළඹට පැමිණි මෙම දැරියන් තිදෙනා ත්‍රිරෝද රථයකින් නැඟ විහාරමහාදේවි උද්‍යානයට ගොස් මුහුණ කට සෝදාගෙන ඇත.

ඉන් අනතුරුව කොරියානු හා බටහිර සංගීතයට හා නර්තන විලාසිතා පාඨමාලාවක් ගැන ඇසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට ගොස් ඇත්තේ කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයටය. ඔහුගේ මැදිහත්වීමෙන් මෙම කලාව හැදෑරිය හැකි යැයි විශ්වාසයෙන් එහි ගිය මෙම දැරියන් විපක්ෂ නායකවරයා එහි නොසිටි හෙයින් ආපසු හැරීගොස් ඇත. ඒ අනුව එක්තරා හෝටලයකට ද ගොස් නවාතැන් සඳහා කාමරයක් ඉල්ලා ඇති අතර දරුවන් තිදෙනාටම ජාතික හැඳුනුම්පත හෝ වයස අවුරුදු 18 සම්පූර්ණ වී නැති නිසා හෝටලයට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර නිවසට යන ලෙස බැණවැදී ඇත.



හැඳ සිටින ඇඳුම්වලින් සැරසී නුවර නගරයේ ඇවිදීමේ අරමුණින් මෙම දැරියන් නැවතත් කොළඹට පැමිණ කොළඹ සිට මහනුවර දක්වා ගමන් ඇරඹූ බසයකට ගොඩ වී ඇත. ඒ පස්වරු 01.20ට පමණය. කෙසේ නමුත් නුවරට පෙරේදා ඇදහැළුණු මහ වර්ෂාව මැද එම බසයේම රැඳී සිටිමින් යළි කොළඹ බලා පැමිණ රාත්‍රී 09.30ට පමණ කෙසෙල්වත්තේ නිවෙස වෙත පැමිණියේ තවත් වියදම් කිරීමට අතේ මුදල් නැති නිසාය. මෙම දරුවන්ට නිවෙසින් පිටවීමට දෙමාපියන් ඉඩ නොදීමත්, ඔවුන් ප්‍රිය කරන බටහිර හා කොරියානු සංගීත නර්තන කලාවන් හැදෑරීමට නිවෙසින් විරුද්ධ වීමත් මත මෙලෙස නිවෙසින් පිටව ගිය බව මෙම දරුවන් කෙසෙල්වත්ත පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි. පසුව මෙම දැරියන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට දැඩි අවවාද කර ඇත.

එෆ්. අස්ලම්