Alcohol-causes-people-to-go-blind-and-die

මෙතනෝල් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු කසිප්පු පානය කිරීමෙන් පසු මරණයට හා අන්ධභාවයට පත්වීම් පිළිබඳ ආරංචි අපට විටින් විට අසන්නට ලැබේ. මෙතනෝල් අඩංගු කසිප්පු පානය කළ කිහිප දෙනකුම මරණයට පත් වූ බවත් අධභාවයට පත් වූ බවත් නොබෝදා අපට අසන්නට ලැබිණි.   වුඩ් ස්ප්‍රීට් (Wood Spirit) යන නාමයෙන් ද හැඳින්වෙන මෙතනෝල් (Methanol) වැඩි වශයෙන් ෆෝමැල්ඩිහයිඩ් (Formaldehyde) නිපදවීම සඳහා ප්‍රයෝජනයට ගන්නා අතර මද්‍යසාරයේ ස්වභාවය වෙනස් කිරීම සඳහා ද උපයෝගී කරගනු ලැබේ. මේවා ද්‍රාවකයක් (Solvent) වශයෙන් ද තීන්ත හා වාර්නිෂ් නිෂ්පාදන කාර්යයන්හි දී ද උපයෝගී කරගනු ලැබේ.


මෙතනෝල් මිලි ලීටර් 10ක් පමණ ශරීරගත වීමෙන් අන්ධභාවයට පත් වීමටත් මිලි ලීටර 30ක් පමණ ශරීරගත වීමෙන් මරණයට පත් වීමටත් ඉඩ තිබේ. මෙතනෝල් ආශ්වාස කිරිමෙන්  හා සමට උරාගැනීමෙන් විෂ සහිත තත්ත්වයක් ඇති විය හැකිය.  මිතිලේටඩ් ස්ප්‍රීතුවල මෙතනෝල් සියයට 5ක් ද එතනෝල් (ඊතයිල් මද්‍යසාර) සියයට 9ක් ද අඩංගු වේ. මිතිලේටඩ් ස්ප්‍රීතුවල විෂ සහිත තත්වයක් ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ඒවායේ එතනෝල් අඩංගු වීම නිසාය. විෂ සහිත තත්ත්වය ඇති වන ආකාරය මෙසේය.



මිනිස් සිරුර තුළ දී ඇල්කොහොල් ඩිහයිඩ්‍රොජෙන්ස් (alcohol dehydrogenase) නම් එන්සයිමයක් මගින් මෙතනෝල්    පරිවෘත්තිය ක්‍රියාවලියකට ලක් වී ෆෝමැල්ඩිහයිඩ්  (Formaldehyde)  හා ෆෝමික් අම්ල බවට පත් වේ. රෝගීන් ආම්ලිකතා (acidosis)  තත්වයකට පත් වන්නේ ෆෝමේට් සාන්ද්‍රණය නිසා ය. අක්මාවේ එන්සයිම පද්ධතීන්ගේ අවපාතය, අක්මාව මගින් ග්ලුකෝස් නිපදවීමට බාධා පමුණුවා එමගින් නිපදවන ලැක්ටේට්, ආම්ලිකතා තත්වය දරුණු කරයි. අන්ධභාවය ඇති වන්නේ ඇසේ දෘෂ්ටි විතානයේ  ෆෝමැල්ඩිහයිඩ් (Formaldehyde) සෑදීම නිසා ද නැත්නම් ෆෝමේට් (Formate) නිසා හටගන්නා එන්සයිම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් දෘෂ්ටික ස්නායුවට සිදුවන හානිය නිසා දැයි ස්ථිර වශයෙන් පැවසිය නොහැකිය. ඇසට විටමින් "ඒ"’ උපයෝගී කරගැනීමටද මෙතනෝල් බාධා පමුණුවයි.


මෙතනෝල් පානය කර රෝහල්ගත කරන රෝගීන් තුළ බීමත් ගතිය හා නිඳිබර ගතිය වැනි රෝග ලක්‍ෂණ වෛද්‍යවරුන්ට දැකගත හැකිය. පැය 8 සිට පැය 36 දක්වා වන කාලයේදී ඔක්කාරය, වමනය, උදර ප්‍රදේශයේ වේදනාව, හිසරදය, ඉස කරකැවිල්ල සහ සන්‍යසය (Coma) හටගත හැකිය. පෙනීම දුර්වල වීම හා දෑසේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම සිදුවිය හැකි අතර ස්ථිර අධභාවයට පත් වන තැනැත්තාගේ කළු ඉංගිරියාව විස්තාරණය විය හැකිය.  බෙහෙවින් දරුණු අවස්ථාවලදී ආම්ලිකතාව හා රුධිර සීනි මට්ටම් ලීටරයට මිලිග්‍රෑම් 500ට වැඩි වීම දරුණු මෙතනෝල් විෂ වීමේ තත්ත්වයකින් යුක්ත බව තහවුරු කරයි.


විෂ ශරීරගත වී පැය දෙකක් තුළ රෝගියා රෝහල් ගත කළහොත් වෛද්‍යවරුන් රෝගියාගේ ආමාශයික ශෝධනය කරනු ඇත. විෂ ශරීරගත වීමෙන් පැය දෙකකට පසු රෝහල්ගත කළ හොත් රෝගියාගේ ආම්ලිකතා තත්වය බයිකාබනේට් මගින් නිදොස් කළ හැකිය. රෝගියාගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයේ පවත්වා ගැනීම බෙහෙවින් වැදගත් අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ තබාගැනීම වඩාත් යෝග්‍ය ය.

අප්‍රමාදව රෝහල්ගත කරන රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් දෙනු ලබන්නේ මද්‍යසාරයය. (ඊතයිල් මද්‍යසාරය හෝ එතනෝල්, රෝගියා ප්‍රමාද වී පැමිණිය හොත් මද්‍යසාර දීමෙන් සෙතක් නොසැලසේ.

සාමාන්‍යයෙන් පැය හතරකට පසුව රෝගියා රෝහල්ගත කළ හොත් ආලිකතා තත්වය දරුණු වීමට ඉඩ ඇති හෙයින් ඔහුට එතනෝල් දීම ප්‍රඥාගෝචර නොවේ.

මුල් පැය දෙක තුළ රෝගියා රෝහල්ගත කළ හොත් අරක්කු, විස්කි හෝ ජින් ස්වරූපයෙන් වෛද්‍යවරුන් ඔහුට එතනෝල් ග්‍රෑම් 50ක් පමණ දිය යුතු අතර ඉන් අනතුරුව එතනෝල් ග්‍රෑම් 10-12ක ප්‍රමාණයක් ආවිලයිත (Infusion) කළ යුතුය.

මස්තු එතනෝල් (Serum ethanol) සහ මෙතනෝල් මට්ටම් විටින් විට තක්සේරු කළ හැකි බැවින් මෙතනෝල් ශරීරගත වූ තැනැත්තාට දැඩි සත්කාර ඒකකයක දී ප්‍රතිකාර කළ හැකි නම් වඩාත් යෝග්‍ය ය. මෙතනෝල් විශාල ප්‍රමාණයක් ශරීරගත වී ඇති රෝගියකු ගේ දෘෂ්ටික ස්නායුවට වන හානිය වැළැක්වීම සඳහා ආමාශයික ශෝධනය පැය දෙක තුනකට වරක් කළ යුතු ය. නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය සඳහා මෙතනෝල් උපයෝගී කර ගැනීම වළක්වාලීමේ පියවරක් වශයෙන් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට ප්‍රථම මිශ්‍ර කර බාල කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව රෙගුලාසි පැනවීමට කටයුතු කරන බව විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.
- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස