A-human-rights-complaint-seeking-employment-for-15000-graduates

රැකියා විරහිතව සිටි උපාධිධාරීන් පහළොස් දහසකට (15,000) ආසන්න පිරිසට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස රජයට නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඊයේ (15)දා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරයි.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව උපාධිධාරීන් හැටදහසක් (60,000) රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී පෞද්ගලික අංශයේ සේවය කළ බවට සඳහන් කර තිබූ දහසකට (1000) අධික පිරිසකට රැකියා ලබා දීම අත්හිටවූ බවත්, පසුව එයට එරෙහිව උපාධිධාරීන් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම පිරිස බඳවා ගැනීමට පසුව තීරණය කළ බවත් එම සංගමයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා සඳහන් කළේය.එහෙත් මෙම පිරිස මෙතෙක් බඳවා ගැනීමට කටයුතු නොකළ බවත්,
උපාධිධාරීන් හැටදහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදා බඳවා ගත්තේ පනස්තුන්දහස් පන්සිය අසූනවයක් (53,589) පමණක් බවත් පැවසු ඒ මහතා, මෙම පිරිසෙන්ද මේ වනවිට රාජකාරියට වාර්තා කරනුයේ හතළිඅටදහසක (48,000) ප්‍රමාණයක් බවද පවසා සිටියේය.



මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් පහළොස්දහසකට (15,000) ආසන්න ප්‍රමාණයක් රට තුළ සිටින බවත්, මෙම පිරිස අතර 2019 වසරේදී උපාධිය ලබාගෙන, එහෙත් උපාධිධාරීන් හැටදහසකට රැකියා ලබාදෙන වැඩපිළිවෙළ ආරම්භ වන විට උපාධි සහතිකය නොමැතිව සිටි විශාල පිරිසක්ද සිටින බවත් මහේෂ් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේය. උපාධිධාරීන් 60,000 බඳවා ගැනීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බැවින් එම වැඩපිළිවෙළ යටතේ දැනට පුරප්පාඩු වී තිබෙන දොළොස්දහසකට (12,000) ආසන්න ප්‍රමාණය සඳහා මෙම පිරිස් බඳවා ගන්නා ලෙසත්, ඉතිරී සුළු පිරිස බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)