vishaka-siriwardane-passed-away

ප්‍රවීණ රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය 65වන වියේදී අභාවප්‍රාප්ත විය. පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර කුරුණෑගල රෝහලේදී ඊයේ (23) ජීවිතයට සමුදුන්නාය.
1981 වසරේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර ‘යහළු යෙහෙළි‘ , "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" , ‘රන්දැම්වැල්‘, ‘ක්‍රිස්තු චරිතය‘,‘යසෝමා‘ ඇතුළු චිත්‍රපට 30 කට වැඩි ගණනක රඟපා තිබේ.
සරසවිය නැගී එන නිළිය සම්මානයෙන් 1985 දී ඇය පිදුම් ලද අතර 1986 ඕසීඅයිසී කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.


‘සිංහල සිනමාවේ උසම නිළිය‘ ලෙස ඇය මාධ්‍ය තුළ හඳුන්වා තිබුණි.
ඇය වරක්  ඒ ගැන මෙසේ කියා තිබුණි

 සිනමාවේ ප්‍රබල චරිත නොලැබුණාමත් නෙමේ. කිහිපයක්ම කළා. ‘භීෂණයේ අතුරු කතාවක්’ චිත්‍රපටය මට ලැබුණු හොඳ ප්‍රබල චරිතයක්. ඒත් මෙන්න මේකයි ඇත්තම කතාව. අපේ රංගන ශිල්පිනියන්ව ලේබල් ගැහුවා. මෙයා මේ චරිතවලට . . . එයා මේ චරිතවලට කියලා. ඉතින් ඔය ප්‍රබල කියන චරිත හැමදාමත් ලැබුණේ ඔවුන්ට. මම ලද දෙයින් සතුටට පත්වුණා.

 යම් යම් චරිත නොලැබී යන්න උසත් බලපාන්නත් ඇති.. මොකද පෙම්වතියගේ චරිත මට ලැබුණේම අඩුවෙන්. මගේ උසට හරි යන නළුවෙක් හිටියේ නෑ. ඒත් මේ උසට මම කැමැතියි. තාමත් මගේ උසට ගහන්න නිළියක් ක්ෂේත්‍රයේ නැහැ. සිනමාවේ උසම නිළිය වීම මට ගෞරවයක්.

මම සරල ගැහැනියක්. ගමේකම මා සතුව තියෙනවා. මගේ අම්මා මැරෙනකම් මා එක්ක උන්නේ. ඇය මිය ගිය පසු ජීවිතේ පාළුවක් දැනුණා. සැමියා ළඟ ඉන්න නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ.




‘තුලා දහර’ , ‘සරල සමනලි’ ,‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සැවිල් පාලික්’ වැනි ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.
සපුගස්තැන්න, කලගෙඩිහේන ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඇගේ උපන්ගම වූ කුරුණෑගල කටුපොතදී අද (24) සිදුකිරීමට නියමිතය.