සෑම සතියකට හෝ දෙකකට වරක් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් හෝ ඔවුන්ගේ සමීපතමයකු නිදොස් කොට නිදහස් කරමින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නේ වර්තමාන අග විනිසුරුවරයා නීතිපතිවරයාව සිටියදී අත්සන් කළ අධිචෝදනා පත්‍ර වීම විශේෂ කාරණාවක් බව නීතිඥ සුනිල් වටගල 17දා පැවැසුවේය.



ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය මගින් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීතිඥ සුනිල් වටගල පැවැසුවේ නීතිපතිවරයාට මෙලෙස අත්තනෝමතික ලෙස අධිචෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමට හැකියාවක් නැති බවය. බැසිල් රාජපක්ෂගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ, මහින්දානන්ද අලුත්ගමගේගේ නඩු ඇතුළු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා පසුගිය කාලයේ ඉල්ලා අස්කරගත් බව පෙන්වා දුන් නීතිඥවරයා යම් අපරාධයක් සම්බන්ධයෙන් විධිමත් දීර්ඝ විමර්ශන ක්‍රියාවලියක් අවසානයේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කරන නඩු ගොනුවක් හිටි හැටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවක් තිබිය යුතු බවද පැවැසුවේය.