srilanka-namibia-world-cup

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද (18දා) නැමීබියාවට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ . මේ වනවිට ලෝක විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 10වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව, එහි 19 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවට එරෙහිව විස්සයි20 තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. 

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති පෙරහුරු තරගවලදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 04ක ක්ද, පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 39ක ජයක්ද ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියට අවතීර්ණ වනු ඇත. කෙසේ වුවත්, නැමීබියාව තරගාවලියට පිවිසෙන්නේ පෙරහුරු තරගවලදී ඕමානය හමුවේ ලකුණු 32කිද. ස්කොට්ලන්තය හමුවේ ලකුණු 19කින්ද පරාජය වීමෙන් අනතුරුවය.

මින් පෙර පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලි හයේදී එක් ශුරතාවක් සහ අනුශුරතා දෙකක් දිනා සිටින ශ්‍රී ලංකාව, පසුගිය කාලවකවානුව තුළදී යම් පසුබෑමක් පෙන්නුම් කළේය. ඒ හේතුවෙන් විස්සයි20 තරග බිමට තවමත් නවකයන් ලෙස සැලකිය හැකි නැමීබියාවෙන් එල්ල වන අභියෝගය පවා ශ්‍රී ලංකාවට සුළුවෙන් තැකිය නොහැකිය. ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පැවති තරග දෙක ජයගැනීම ශ්‍රී ලංකාවට සිතු තරම් පහසු නොවීම ඊට කදිම නිදසුනක් ලෙස සඳහන් කළ හැකිය.

ඕමානයට එරෙහිව පැවති තරග දෙකේදී පිළිවෙළින් නොදැවී ලකුණු 83ක් සහ 33ක්ද, බංග්ලාදේශයට සහ පැපුවා නිව්ගිනියාවට එරෙහිව පැවති පෙරහුරු තරග දෙකේදී පිළිවෙළින් නොදැවී ලකුණු 62ක් සහ ලකුණු 61ක් රැස්කරමින් දිගින් දිගටම ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසයක් තැබිය හැකි එකම පිතිකරුවා බවට පත්ව සිටියි. සෙසු පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී අවිෂ්ක නිරත වූ සටන්කාමී පිතිහරඹය එම තරග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මනා රුකුළක් විය. දිගින් දිගටම අවස්ථා ලබාදෙමින් ආරම්භක පිතිකරුවෙකු ලෙස අත්හදාබැලූ පැතුම් නිස්සංක, පැපුවා නිව්ගීනියාවට එරෙහිව පැවති පෙරහුරු තරගයේදී පන්දු 58කින් ලකුණු 76ක් ලබාගනිමින් ලකුණු අතරට පිවිසීමද ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වනු ඇත. කෙසේ වුවත් අද තරගය සඳහා පැතුම් ක්‍රීඩා කරන්නේ නම් ඔහුට කුසල් පෙරේරා සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට අවස්ථාව ලැබේවිද යන්න තවමත් අවිනිශ්චතය. "අපිට ඉන්න හොඳම විස්සයි20 පිතිකරු තමයි කුසල් ජනිත්.

ඔහු ගැන කිසිම ගැටලුවක් තිබුණ නැහැ.

අපිට තීරණයක් ගන්න වෙලා තිබුණ චන්දි අයියයි (දිනේෂ් චන්දිමාල්) පැතුම් නිස්සංකයි ගැන. මේ වෙනකොට ඔවුන් දෙදෙනාම දක්‍ෂතා අතර ඉන්නවා. මම තේරීම් කමිටුවයි, පුහුණුකරුවනුයි එක්ක සාකච්ඡා කරලා තීරණයක් අරගෙන තියෙනවා කවුද කුසල් එක්ක ඉනිම අරඹන්නේ කියලා. හෙට (අද) තරගයේදී ඒක බලාගන්න පුළුවන් වෙයි” යැයි ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවේදී ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. පසුගිය තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් එහිදී ලකුණු අතරට පැමිණීමට අසමත් වීම හේතුවෙන් ඔහුට පිතිකරණ ලැයිස්තුවේ එක් ස්ථානයක් පසුබැසීමට සිදු වුවද, එය විමතියට කරුණක් නොවනු ඇත. එහෙත් අවිශ්ක ප්‍රනාන්දු සිවුවැනි ස්ථානයේ පන්දුවට පහරදුන් සෑම අවස්ථාවකදීම පාහේ සාර්ථක වීම නිසා එම ස්ථානයේ වෙනසක් සිදුවිය හැකියැයි බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව ස්ථිර වශයෙන්ම අවිෂ්ක අංක 04 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇත. "අවිශ්ක අංක 04 ස්ථානයේ ඉතාමත් හොදට ක්‍රීඩා කරලා පෙන්නලා තියෙනවා. මහේලගේ එක්වීමත් සමග අපිට පිතිකරු ලැයිස්තුව සකස් කරගන්න හුඟක් පහසු වුණා.

 මොකද අපි දකින විදියට වඩා තරමක් වෙනස් විදියකට තමා ඔහු ක්‍රීඩකයන් දෙස බලන්න. අංක 04 පිතිකරු පන්දුවට පහරදෙන්න එන විට පන්දු රකින්නන් වැඩි පිරිසක් යාර 30 සීමාවෙන් එළියට ගිහින්. ඒ නිසා ඔහුට හිතේ හැටියට අත දිග හැරලා පන්දුවට පහර දෙන්න පුළුවන්. ඒ නිසා අවිශ්ක අංක 04 ස්ථානයේ ක්‍රීඩා කරන එක කණ්ඩායමට හුඟක් වාසිදායක වේව්" යැයි අවිෂ්කගේ ස්ථානය පිළිබඳ පැහැදිලි කරමින් මෙම මාධ්‍ය හමුවේදී පුහුණුකරු මිකී ආතර් පැවසීය. කණ්ඩායමේ අංක 05 සහ 06 ස්ථාන සඳහා උපනායක ධනංජයද සිල්වා, චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ අතර තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, බොහෝ දුරට ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් පමණක් අද (18)දා තරගයට එක්වනු ඇත.

07, 08 සහ 09 යන ස්ථාන නායක දසුන් ශානක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න සඳහා වෙන්කර ඇති අතර,

දුෂ්මන්ත චමීර සමගින් මහීෂ් තීක්ෂණ හෝ අකිල ධනංජය පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ. මේ අවුරුද්දේ සහභාගි වූ විස්සයි20 අන්තර්ජාතික තරග 06ම ලබා ඇති නැමීබියානු කණ්ඩායමේ කොඳු නාරටිය ලෙස නායක ජෙරාඩ් එරැස්මස්, ඩේවිඩ්. වීස් සහ ජේ.ජේ. ස්මිත් යන අධිබලැති ප්‍රහාරකයන් තිදෙනා හැදින්විය හැකිය. නැමීබියානු පිතිකරු ලයිස්තුවේ අංක 04 සිට 06වැනි ස්ථාන පිරවෙන්නේ ඔවුන් තිදෙනාගෙනි. වමතින් පන්දු යවන ක්‍රීඩකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වන නැමීබියානු පන්දු යැවීමේ අංශය කෙරෙහිද ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද තරගයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත.

(ශානුක අරවින්ද අබුඩාබි නුවර සිට)