එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන අවසන් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (10දා) ප්‍රකාශයට පත් කළේය. මෙවර ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මීට ඉහතදී නම්කර තිබුණද, ආබාධ හෝ වෙනත් හේතුන් වෙනුවෙන් පෙර නම් කළ සංචිතයේ සංශෝධන සිදුකිරීමට අයි.සී.සී.ය ලබාදී තිබූ කාලය ඊයේ 10දා දිනයෙන් අවසන් විය. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 15දෙනෙකුගෙන් සමන්විත නව ශ්‍රී ලංකා සංචිතයට,  පෙර නම් කෙරුණු සංචිතයේ රැදී සිටියදී ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංක ඇතුළත් නොවීය. නුවන් ප්‍රදීප් ඕමානයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ආබාධයකට ලක් වූ බැවින් ළහිරු හා නුවන් දෙදෙනා වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර කැඳවා ඇත.එමෙන්ම පැතුම් නිශ්ශංකද සංචිතයේ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර,

ඒ හේතුවෙන් කමිදු මෙන්ඩිස්ට ස්ථානය අහිමි වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අකිල ධනංජය කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටින හෙයින්, 

 

ඔහුද අවසන් සචිතයට නම් කර ඇත. ඒ හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම සංචිතයෙන් ඉවත්කර ඇත.කෙසේනමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ලෝක කුසලානය සඳහා සහභාගි වන කණ්ඩායමේ උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 15ක් විය යුතු වුවත්, පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනෙකු සංචිතයේ තබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවක් මතුවුවහොත් ඊට විකල්පයක් ලෙසින් මූලික සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයන් 08දෙනෙකු සමගින් 23දෙනෙකුගෙන් යුත් පුළුල් සංචිතයක් මේ වන විට මැදපෙරදිග බලා පිටත්ව ගොස් සිටියි.

 

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලීයේ පළමු වටය සුදුසුකම් ලැබීමේ තරග එළඹෙන 17වැනිදා ආරම්භ වන අතර,


එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. මෙම තරග ක්‍රීඩා කිරීමට පෙර පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ. කෙසේ නමුත් පුහුණුව තරග ක්‍රීඩා කළ හැක්කේ ඊයේ (10දා) නම් කළ අවසන් සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනාට පමණි.

(සංජීව ධර්සේන)