shrimali-fonseka-speaks

නිරූපණ ශිල්පිනියක හා රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කරමින් සිටි අතරේ විවාහක රූ රැජිණ තරගයෙන් කිරුළ හිමිකරගත්  ඇය පසුව රංගනයට පැමිණියේ “ඉස්සරහට යන්න" ටෙලිනාට්‍යය  සමගය.  ඉනික්බිතිව A330, T-20,  මොණර කඩදාසි, රාවනා, තණමල්විල කොල්ලෙක් ඇතුළු නාට්‍ය ගණනාවකට දායක වූ ශ්‍රිමාලි' අද අපට හමුවන්නේ විකාශය වන 'සකර්ම” නාට්‍යයේ, සුමාලි' නම් වූ චරිතය සමගය. මේ කතාබහ  ශ්‍රීමාලි එක්කයි.




 ශ්‍රීමාලි කොහොමද මේ දිනවල ජිවිතේ?

මේ දිනවල අලුතින් ඩ්‍රාමා දෙකක් පටන් ගත්තා. එකක් හිරු ටී.වී. අනෙක දෙරණ.


ඒ කියන්නේ දැන් දිගටම ශ්‍රීමාලි රංගනයත් එක්ක?

ඔව්, ඒකට ආසයි. මට හොද චරිතත් ලැබෙන නිසා ආසාවෙන් ඒවා බාර ගන්නවා.

මේ දිනවල කතා වෙන්නේ “සකර්ම" නිසා නේද?

ඔව්.

'සකර්ම’ කියන්නෙ?

මම දැනගත්ත විදිහට කර්මය කියන දේ නැවත නැවත ඒම.

ඔබ එහි රඟපාන චරිතය ගැන කියමු?

සුමාලි කියන චරිතය, ඒක ටිකක් විශේෂයි. බොහෝ දෙනා ඒකට ආදරය කරන්න පටන්ගෙන. සකර්ම එකේ චරිත ගොඩාක් තියෙනවා. එක එක විදියේ චරිත. ඒ අතරින්, මේකත් වෙනස් චරිතයක්. ඉතින් ඒ චරිතයට අනුව, ගමක ජීවත්වන කර්කශක ජීවිතයක් ගත කරන කාන්තාවක්, සැමියා අහිමීව ජීවිතයට මුහුණ දෙන හැටි ඒ චරිතයෙන් කියැවෙනවා. ඒ චරිතයට වන හැළ හැප්පීම්වලට ලක්වෙන ස්වභාවය පෙන්වනෙ. ඇන්ත සමාජයේ අපට දකින්නට ලැබෙන චරිතයක්.



එක්වරම සුමාලීගෙ දෙබසක් කියන්න කිව්වොත්?

"මාර සැන්තෑසියක්නේ වෙලා තියෙන්නෙ"

දැන් මේ චරිතය වගේ ඔබ සැබෑ  ජිවිතයේ මුහුණ දුන් සිදුවීම් තියෙනවද?

මේ චරිතය වගේ නම් නැහැ. මම නගරයේ ජීවත් වන චරිතයක්. හොදට සුව පහසුව ජීවත් වන චරිතයක්. ඒත් සුමාලි එහෙම නෙවෙයි.

 සුමාලිට වගේ මුහුණ දෙන්න වන කාන්තාවන්ට ඔබ දෙන පණිවුඩය මොකක්ද?


එයාට කොච්චර ප්‍රශ්න ආවත් ප්‍රතිපත්තියක් ඇතිව ජීවත්වන කාන්තාවක්. “සුබේ' කියන කොල්ලා නිතරම ඇය එක්ක පැටලෙන්න හදනවා. ඒත් සුමාලි ඒකට කැමති නැහැ. සුමාලි හදන්නේ ඒ තරුණයා යහමගට ගන්න. එය සමාජයට කියා දෙන හොඳ පණිවුඩයක්, අසම්මත සබඳතා එපා කියන එක තමයි, සුමාලි කියන්නෙ.

මේ චරිතය ඔබට' දැනෙන්නේ කොහොමද? මෙතක් කළ චරිත එක්ක සසදද්දී..?


හාත්පසින්ම වෙනස්. මීට කලින් මේ වගේ චරිත රඟපාලා නැහැ. දරමිටියක් ඔළුව තියාගෙන ගිය ප්‍රථම අවස්ථාව. ඒක ලොකු දරමිටියක්. කිලෝ ගණනාවක් බර එකක්. කුෂන් එකක් වගේ තියලා බැලුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. දර ඔළුවෙ ඇනෙන්න ගත්තා. පස්සෙ බෙල්ලෙ කැක්කුමකුත් ආවා. සෑහෙන්න දුරක් ඒක අරගෙන ගියේ කොහොමද කියලා මටත් හිතාගන්න බැහැ. ඉතාම අපහසුතාවයට පත් වුණත් පසුව ඒක නරඹද්දී හරි සතුටුයි.

කොහොමද දැන් ඔයාගෙ සැලෝන් එක් වැඩ?

 ඒක දැන් නවත්තලා කාලයක් වෙනවා.

 අද වෙනකොට ප‍්‍රධාන වෘත්තිය?

 ප්‍රධානම වෙලා තියෙන්නෙ රඟපෑම. කොරෝනා එක්ක මේ ඔක්කොම වෙනස් වුණානෙ. ව්‍යාපෘතියක් කිරීම ටිකක් පීඩනයක්. මේ වනවිට හිරු ටී.වී. නිවේදිකාවක ලෙසත් වැඩ කරනවා.

කොහාමද ශ්‍රීමාලි පුද්ගලික ජීවිත් විස්තර?

විශේෂයක් නැහැ. දියණිය O/L කළා. ඒක හරි සතුටක්. එයාගෙ විභාගයටත් ලොකු කැපවීමක් කරන්න පුළුවන් වුණා. එයාගෙ අරමුණ නීතිඥවරියක වීමටයි.

අද "ශ්‍රීමාලිට" ආපස්සට ජිවිතේ දිහා බලද්දී කොහොමද හැඟෙන්නෙ?


ගන්න තීරණ ගැන සතුටුයි. කලා ක්ෂේත්‍රයට ආ එක ගැන සතුටුයි. මම කොහොමත් සුබවාදීව හිතන කෙනෙක්. ලැබීම් - නොලැබීම් ගැන පසුතැවීම් නැහැ. එදා මම විවාහක රූ රැජිණ තරගයට ගිය නිසා තමයි මට කලා  ලෝකයේ ලස්සන ගමනක් විවර වුණේ. ඒ ගැන හරි සතුටුයි. එදා මම පළවැනියට රගපෑවෙ "ඉස්සරහාට යන්න" නාට්‍යයේ චරිතය ගැන පවා  අදටත් මිනිස්සු කතා කරනවා.

 ශ්‍රීමාලී' කවුද?

හරි සරල, හැමෝම එක්ක හරි සහයෝගයෙන් ජීවත්වන සතුටින් ඉන්න කෙනෙක්.




 'ජීවිතේ' කියන්නේ මොකක්ද?

අපි හොදට ගතකළොත් සුන්දරයි. ඒක අපේ  අතේ තියෙන්නෙ. මේ ලැබුණු මනුස්ස ජීවිතේට වටිනාකමක් දුන්නොත්, ඒක හරි වටිනවා. මම හිතන්නේ ජීවිතය කියන්නෙ ලැබුණු හොඳ තෑග්ගක්. සතුටින් සිටීම නිසා මට ජීවිතේ දැනෙනවා. ප්‍රශ්න නැතුවා නෙවෙයි, ඒත් ඒ ප්‍රශ්න එක්ක ඇලීගැලී ජීවත් වෙන්නෙ නැහැ.

 හොද ගැහණියක්ද? මවක්ද?

හොඳ මවක් ගෘහණියක් වෙන්න පුළුවන් වුණේ නැත්තෙ රගපෑම්, නිරූපණය නිසා කාර්ය බහුල වූ නිසයි. ඒත් මට හොඳ මවක් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා හොඳ ගෘහණියකට වඩා මම හොද මවක් කියනවාට කැමතියි.

අපි නොදන්නා ඔබ සතු දක්ෂතාවයන් මොනවද?

හොද රුපලාවන්‍ය ශිල්පිනියක වගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම හොඳට උයන්නත් පුළුවන් මට.

මොනවද හොදටම උයන්න පුළුවන්?

වම්බටු කරි එක, සලාද වර්ග, ඒ වගේ ඔකෝම පුළුවනි. පෑන් කේක් හදන්න ආසයි. ළඟකදී ගෙදර කට්ටිය එකතුවෙලා, මාෂ් මෙලෝස් හැදුවා.


-සඳුන් ගමගේ-(ලංකාදීප)

ශ්‍රීමාලි ෆොන්සේකා මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ බෙදාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.