ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) යළි ආරම්භ කළ අතර සියලු පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 


මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව බොහෝ පාසල්වල ප්‍රාථමික අංශයේ සමස්ත සිසුන්ගෙන් සියයට 60 හෝ ඊට ඉක්ම වූ ප්‍රතිශතයක් පාසල් වෙත පැමිණ ඇත.
සිසුන් සහ ළමයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් වෙත පැමිණ ඇත.



කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් බැහැරව ස්වෙච්ඡාවෙන් සිදු කරන කිසිදු කටයුත්තකට ගුරුවරුන් සහය ලබා නොදෙන බවයි. එමෙන්ම අද පස්වරුවේ පාසල් අසල විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. යම් රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු කීය.