royal-park-atm-nabbed

රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති, ATM යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහ දැරූ දෙදෙනෙකු ඊයේ (27)දා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 23 - 26 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා මුදල් ලබා ගන්නා මුවාවෙන් රාත්‍රී 12 පමණ ATM යන්ත්‍රය අසලට පැමිණ අඩි 5ක් පමණ දිගින් යුත් යකඩෙන් සැකසූ තියුණු ආයුධයකින් අදාළ යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ.පැයක පමණ කාලයක් යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වීම නිසා දෙදෙනා ඉන් ඉවත්ව ගොස් ඇත. පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පුද්ගලයන් ද මේ බව දැක, පොලීසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරින් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරික්ෂා කොට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ රූපරාමු වලින් හඳුනාගත් දෙදෙනකු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ සමග යන්ත්‍රය කැඩීමට භාවිත කළ තියුණු ආයුධය සහ කොල්ලයට පැමිණි අවස්ථාවේ හැඳ පැලඳ, සිටි ඇඳුම් කට්ටල දෙකද පොලිස් භාරයට ගත් බව පැවසේ.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුලරත්න)