rila-ella-death

බදුල්ල - හාලි ඇළ , කැටවල පිහිටි අඩි 150ක් පමණ උස රිළා ඇල්ලෙන් පහළට වැටී පසුගිය සිකුරාදා (08 වැනිදා) රාත්‍රීයේදී පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහියංගණ-ගිරාඳුරුකෝට්ටේ, අලුයටවෙල, හෙබරව පදිංචිව සිටි සමීර ලක්මාල් පින්නදූව (25) සහ වීරකැටිය,  හකුරුවෙල පදිංචිව සිටි විදානපතිරණගේ ධර්මදාස (39) යන ඔවුන් දෙදෙනා හාලි ඇළට පැමිණ ඇත්තේ පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක ජේ.සී.බී. යන්ත්‍ර ක්‍රියාකරුවෙක් හා පෙදරේරුවක් ලෙසය. කැටවල මහනුවර රජ මාවත සංවර්ධන ව්‍යාපෘතියට ඔවුහු සම්බන්ධව සිටි බව කියැවිණි.

මෙම දෙදෙනා දියඇල්ලට නුදුරින් පිහිටි නවාතැන් පොළේ සිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමග මත් පැන් පානය කර ඇත. එකවරම මියගිය පෙදරේරුවා (බාස් උන්නැහේ) මෙම දියඇල්ලේ නිධානයක් ඇති බව පවසමින් දියඇල්ල මුදුනට දිවගිය බවත් දියඇල්ල මුදුනේදී ඔහුගේ පය ලිස්සා යනවිට ඔහු පිටුපසින් දිවගිය අනෙක් තරුණයා වූ සමීර ලක්මාල් ඔහු අල්ලා ගැනීමට යාමේදී දෙදෙනාම පහළට ඇද වැටී ඇති බවත් සිද්ධිය දුටු සාක්කි කරුවෙක් (ගිහාන් ඉසුරු) කියා සිටියි.



එම සාක්කිකරු සිද්ධිය විස්තර කළේ මෙසේය.
එදා බෝඩිමේ අපි 5 දෙනෙක් හිටියා. අපි හතර දෙනෙක් බිව්වා. එකපාරටම බාස්උන්නැහේට ආරූඪයක් ඇවිත් කිව්වා එයාට යම්කිසි වස්තුවක් පෙන්නුම් කරනවා කියල. ඒක ගන්න පුළුවන් කියල බෝඩිමෙන් පිටත් වුණා. යන්න කලින් බාස්උන්නැහේ වතුර මතුරල අපිට දීල කිව්වා එයාට සිහිය නැති වුණොත් ඇඟට ඉහින්න කියලා. අපිත් එයාගේ පස්සෙන්ම ගියා. එයා කළුවරේමයි දුවගෙන ගියේ. අපි ගියේ ජංගම දුරකථනයේ එළියෙන්. ආවේශ වෙච්ච එක්කෙනා ඉස්සර වෙලාම දුවගෙන ගියා. ඇල්ල මුදුනෙදී බාස්උන්නැහේ එකපාරම ඇල්ල පැත්තට දුවන්න පටන් ගත්තා. ඒත් එක්කම මියගිය සමීර ආවේශ වෙච්ච එක්කෙනාව අල්ල ගන්න හදන කොටම දෙන්නම ලිස්සල පහළට වැටුණා.


ගමේ තරුණයකු වන එච්.එම්.චාමික සිද්ධිය පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.

ඊයේ රෑ 8.30ට විතර දෙන්නෙක් බීලා ඇල්ල මුදුනට දුවල ඇවිත් තියෙනවා. එක්කෙනෙක් ඇල්ලේ ගල් ඇන්දෙන් ලිස්සනකොට අනිත් එක්කෙනා එයා බේරගන්න උත්සහ කරලා තියෙනවා. එතකොට බේරගන්න ආපු එක්කෙනත් ලිස්සලා ඇල්ල පහළට වැටිල තියෙනවා. ඊට පස්සෙ ගමේ කොල්ලෝ හැමෝම වගේ ඒ වෙලාවේ උදව්වට ආවා. ඇල්ල පහළට එන්න පාරක් තිබුණේ නෑ. අපි කැලේ පීරගෙන කළුවරේම ඇල්ල පහළට ගියහම දැක්කා ඇල්ල පාමුල දෙන්නෙක් වැටිල ඉන්නවා. අපි ඒ දෙන්නව වතුර පාරෙන් ගොඩට ගෙනල්ල ගලක් උඩ තිබ්බා.ඩී.එච්.ගුණසිංහ ගොවි මහතා රිළාඇල්ල පිහිටි ගමේ පදිංචිකරුවෙකි. මෙම ස්ථානය පිළිබඳව අරුණට ඔහු මෙසේ කරුණු විස්තර කළේය. මේ ඇල්ලෙ නිධන් තියෙනව කියල ගමේ අය කියනවා. ඒ නිදන් වළගම්බා රජ්ජුරුවන්ගේලු. මගේ වයස දැන් අවුරුදු 65 ක්, මීට කලින් මම මෙතෙන්ට ඇවිල්ලා නෑ. පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මල තාත්තල අපිට මෙහෙට එන්න දුන්නේ නෑ.

මගේ අම්මල තාත්තලටවත් ඒ කාලේ මෙහෙට එන්න දුන්නේ නෑ කියල මට කියල තියෙනවා. ගමේ අය නාන්නවත් මෙහෙට එන්නේ නෑ. මෙතන හරිම අත්භූත තැනක් කියල තමයි මගේ දෙමව්පියෝ මට කියල තියෙන්නේ.


මෙම අනතුරට පත් වූ දෙදෙනා බරපතළ තුවාල සහිතව බදුල්ල මහරෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි. හාලිඇළ පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම ඇල්ලට යාම සඳහා ප්‍රවේශ මාර්ගයක් නොමැත. බෝගොඩ විහාරයට යන රජමාවතේ ජගුල්ල හන්දියෙන් වමට හැරී අමුණුගොඩ ගමට යන මාර්ගයේ අමුණුගොඩ ඇළ දිගේ ගොස් කැලෑවේ ඇති මානං සහ ගස් අතුවල ආධාරයෙන් රූටමින් කැලෑව පීරාගෙන කිලෝ මීටරයක් පමණ මැදට යාමෙන් මෙම රිළා ඇල්ල දැකගත හැකිය.

රාත්‍රී කාලයේ අඳුරේම මෙතරම් අපහසු මාර්ගයක කැලේ පීරාගෙන ගස් අතුවල එල්ලෙමින් ඇල්ල මුදුනට බාස්උන්නැහේ පැමිණියේ කෙසේද? බෝඩිමේ සිටි අනෙක් දෙදෙනා සමීර සමග ජංගම දුරකථනයේ එළියෙන් මහ කැලේ මැද මෙතරම් අපහසු ගමනක් ගියේ කෙසේද? ගැමියෝ ප්‍රශ්න කරති.
(නුවන් ආරියවංශ - අරුණ)