kottawa-police-incident

කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළවලට අලාභ හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.



පහරකෑමෙන් තුවාල ලද ස්ථානාධිපතිවරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම පහර දීමෙන් ස්ථානාධිපතිවරයාගේ දකුණු අතේ වැලමිටට තුවාල සිදුවී ඇති අතර චෝදනා ගාරයේ සවිකර තිබෙන මුහුණ බලන කණ්ණාඩියට මෙන්ම රජයෙන් නිකුත් කරන ලද පුටුවකට අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

ඉඳුල් සහිත කැළිකසළ අඩංගු බාල්දියක් භාර නොගත්තැයි උරණ වී මහරගම නගර සභාවේ කැළිකසළ ප‍්‍රවාහනය කරන ලොරියක සේවකයකුට කොට්ටාව පරණ පාරේදී පෙරේදා (20) පහර දී බාල්දියේ තිබූ ඉඳුල් සහිත අපද්‍රව්‍ය කසළ ලොරියේ රියැදුරු අසුන අසළට මෙන්ම තැන තැන වීසි කිරීම සම්බන්ධව ලද පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වයේ පුද්ගලයන් සුළු පැමිණිලි අංශය වෙත කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටියදී විත්ති පාර්ශ්වයේ පුද්ගලයකු ජංගම දුරකතනයකින් පැමිණිල්ල විභාග කරන අයුරු වීඩියෝ ගතකර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



එය දුටු සුළු පැමිණිළි අංශයේ ස්ථානාධිපතිවරයා එලෙස නොකරන ලෙස අවවාද කිරීමත් සමග උරණ වූ අත්වාරුවෙන් සිටි පුද්ගලයා එකවරම ස්ථානාධිපතිවරයාගේ හිස ප‍්‍රදේශයට අත්වාරුවෙන් පහර දීමත් සමගම අත අල්ලා එය වැළැක්වූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයාගේ දකුණු අතේ වැලමිට ප‍්‍රදේශයට එම පහර වැදී තුවාල සිදුවී තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ සමගම අනෙක් සැකකරුවන් දෙදෙනාද එම ස්ථානයේ කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලිසියේ තිබූ දේපළවලට අලාභ හානි සිදුවී තිබූ බවත්, සෙසු නිලධාරීන් අවම බලය පාවිච්චි කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නුගේගොඩ දිස්ත‍්‍රික් 6 සහකාර පොලිස් අධිකාරී චානක අබේසිරිගුණවර්ධන මහතාගේ උපදෙස් මත කොට්ටාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. අතුල මහතා පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ, මහරගම – එස්. ඩී. අබේසිංහ