fate-end-love-story

ඉරිදා දිනය විවේක දිනයක් වුවත් කොළොන්න පොලිස් වසමේ පිටවෙල ගමේ අයට පසුගිය 17වෙනි ඉරිදා හිරු උදාවුණේ නීතියට අවනත නැති පුද්ගලයෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් තරුණ ජීවිත දෙකක් අහිමිවීමේ ඛේදාන්තයක් ද සමගිනි.  කෝවිඩ් වසංගත තත්ත්වය නිසා පවතින සංචරණ සීමා හේතුවෙන් වත්මන් තරුණ පරපුර නිවෙස්වලට කොටුවී සිටියේය. පළාත් අතර ගමන් කළ නොහැකි වුවත් ලිහිල් වූ සංචරණ නීති තරුණ පරපුරට යම් යම් අස්වැසිල්ලක් වූ බව රහසක් නොවේ. එහෙත් කෝවිඩ් අවදානම නිසා වැඩිහිටියන්ගේ  තහංචි තරුණයන්ගේ ගමන් බිමන්වලට තවමත් සීමා මායිම් පනවා ඇත. ගෙදරට  හොරා වැඩිහිටියන්ගේ ඇස්වසා ගමන් බිමන් යන්නට සමහර තරුණයෝ පසුබට නොවෙති.  මේ සිද්ධිය ද තරුණ ප්‍රේම කතාවක දුක්ඛිත අවසානයකි. කතාව අවසන් වන්නේ දෙදෙනාගේ පළමු හමුවීම මරණයෙන් අවසන් වීමෙනි.




කංකානම්ගේ හංසිකා සඳමාලි කොලොන්න ජාතික පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. ඇය දාහත්වන වියේ පසුවූවාය. ඇය කොලොන්න පිටවෙල ගමේ පදිංචිව සිටියේ අම්මා, තාත්තා සහ අයියලා දෙන්නා ද සමගය.  ඇය පවුලේ බාලයාය. අයියලා දෙන්නා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබති. අම්මා තාත්තා දෙන්නා ගොවිතැන් බත් කරගෙන පවුල නඩත්තු කරගෙන යති. හංසිකා ද කලබල ඇති තරුණියක් නොවේ.  ගෙදර හිටියත් ඇය වටේ පිටේ ඇවිදින්නට නොයයි. ඒ අවට ඉන්නේ ඇගේ තාත්තාගේ ඥාතීන්ය. බාප්පලා සහ මහප්පාගේ ගෙවල්වලට හැරුණුවිට ඇය කොලොන්න ප්‍රාදේශීය සභාවේ   සභිකයෙකු වූ පී.එම්. කුමාරරත්න මහතාගේ  නිවසට ද යයි. ගමේ හැමෝම ඇයට අත් වූ මේ  ඛේදජනක මරණය නිසා විස්සෝපව සිටිති.


කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ගිය අවුරුද්දේ (2020) පාසල් පැවැත් වුණේ දවස් 122ක් පමණි. හංසිකා ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන්නට පාඩම් සම්පුර්ණ කර ගත්තේ (ඔන්ලයින්)  මාර්ගගතවය. සමහර විෂයයන් වලට සූම් පහසුකම් ඔස්සේ පංති ද පැවැත්විණි. මාර්ගගතව පංතිවලට සහභාගි වූ හංසිකා මාතර, දික්වැල්ලේ, පතන ප්‍රදේශයේ වෘත්තියෙන් වඩුකාර්මිකයෙකු වූ මතකධීර කංකානමගේ සුරාජ් ප්‍රසන්න හඳුනාගන්නේ මීට වසර එකහමාකට පමණ පෙරය. දෙදෙනාගේ දැන හැඳුනුම් ප්‍රේමයක් බවට පත්විය. එහෙත් හංසිකාත් සුරාජ් ප්‍රසත්තත් බාල බොළඳ පෙම්වතුන් නොවූහ. හංසිකා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විටත් මේ ප්‍රේම සම්බන්ධය පැවති බවට  තොරතුරු මේ ද්විත්ව මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන කොලොන්න පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.වී.  රෝහණ මහතාට ලැබී තිබුණි.


ඇය විභාගය ඉහළින්ම සමත් වූවාය.  මේ අතර තමන්ගේ පෙම්වතිය විභාගය සමත්වීම  ගැන සුරාජ් ප්‍රසන්න හිටියේ ලොකු සතුටකිනි.  ඇයට සුබ පතන්න තෑග්ගක් දෙන්නට ඔහුට දැඩි වුවමනාවක් තිබුණි. ගෙදරට එන්නදැයි ඇසූවිට හංසිකා අම්මාට ඒ බව කීවා ය. නමුත් අම්මා කිව්වේ හංසිකා තවම ඉගෙන ගන්න වයසේ පසුවන නිසා විවාහයක් ගැන කතාබහ කරන්න තව කල් ඇති බවයි.   එහෙත් මාර්ගගතව (ඔන්ලයින්) හමුව සැබැවින්  දැන හඳුනාගැනීමේ වුවමනාවක් හංසිකාටත් සුරාජ් ප්‍රසන්නටත් තිබුණි. අම්මා කිව්වේ ගේ හදලා ඉවරයක් වුණාම අප්‍රේල් මාසයේ එන්න කියා දැනුම් දෙන ලෙසය. ඒ නිසා හංසිකාගේ ප්‍රේම සම්බන්ධය හිතුවක්කාර එකක් නොවීය. “මියගිය තරුණියගේ අම්මා මේ ප්‍රේම සම්බන්ධය දැනගෙන තිබුණ බව අපිට විමර්ශනවල දී පැහැදිලි වුණා. ඒ නිසා ඇගේ මේ සම්බන්ධය ගෙදරට හොරා වූ එකක් නෙවෙයි. නමුත් මෙයාල හිටියේ කුඩා ගේක. දැන් අලුතින් ගේ හදාගෙන යනවා. ගෙයි වැඩ ඉවර නෑ." කොලොන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක කේ.වී. රෝහණ මහතා හෙළි කළේය.


පසුගිය 16දා සෙනසුරාදා රාත්‍රියේ සුරාජ් ප්‍රසන්න කොලොන්නේ පිටවෙල පිහිටි හංසිකාගේ  නිවසට ආවේ තෑග්ග ද ඇතිවය. ඔහු එන බව දැන සිටියේ හංසිකා පමණය. සුරාජ් ප්‍රසන්න දික්වැල්ලේ සිට කොලොන්නට ආවේ මහ රැය. පළාත් අතර සංචරණ සීමා තහනම් වුව ද ඔහු දකුණු පළාතේ සිට සබරගමු පළාතට ආවේ යතුරු පැදියෙනි. කොලොන්න සූරියකන්ද ප්‍රධාන පාරේ සූරියකන්ද  දෙසට යනවිට නවනැලිය විහාරස්ථානය අසලින්  වමට ඇති නෑදොළ පාරේ කිලෝමීටරයක් පමණ පැමිණි විට පාරේ වම් පැත්තේ හංසිකාගේ නිවස  පිහිටා තිබේ. මේ පාර කාපට් ඇතිරූ පාරකි. දික්වැල්ලේ සිට කොලොන්නේ පිටවෙල ගමට යතුරු පැදියකින් එන්නට පැය දෙකක්වත් ගතවෙයි. හංසිකාගේ නිවස ඉදිරිපිට දකුණු පැත්තට ඇති වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් යා හැකි පස් පාරේ සුරාජ් යතුරු පැදිය නවත්වන්නේය. හංසිකාගේ නිවසේ එළියේ විදුලි පහන් නිවා දමා තිබුණ මොහොතක සුරාජ් ප්‍රසන්න, හංසිකා සමග මිදුලේ කතා බහ කරමින් සිටි බව විමර්ශනවල දී  හෙළි වූ බව පොලීසිය සඳහන් කළේය.




හංසිකාගේ වැඩිහිටියන් පවසන පරිදි, දෙදෙනාගේ පළමු හමුවීම මෙයයි. එහෙත් සුරාජ්ගේ පැමිණීම, දෙදෙනා අමුත්තන් නොවී කතාබහ කිරීම වැනි ක්‍රියා  හේතුවෙන් එය පළමු හමුවීම විය නොහැකි බව විමර්ශන නිලධාරීන්ගේ අදහසයි. තමන් ළඟ නිදා සිටි දුව නැති බව  හංසිකාගේ මව රාත්‍රී එකොළහට පමණ ඇහැරුනු විට දැනගත් බව පවසන්නීය. ඒ බව ඇය සැමියාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු නිවසේ  එළියේ විදුලි පහන් දල්වා බලන විට හංසිකා එළියේ තරුණයෙකු සමග කතා කරමින් සිට දෙදෙනාම කාපට් පාර දිගේ නෑදොළ දෙසට දිව ගිය බව කියන්නීය.  මෙහි ඛේදනීයම කතාව එන්නේ ඊළගටය. හංසිකාගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් ඇති නිවසක සිට හංසිකාගේ නිවස ඉදිරිපිටින් දිවෙන  කාපට් පාර හරහා ඇම්පියර් පහළොවක වයරයක් පාරේ අනෙක් පැත්තට ඇද වතු තූනක් උඩින් කිලෝ මීටර් භාගයකට වැඩිදුරක් ඇද, ඉන්පසු ඒ වයරය පහත් කර අක්කර තුනක කුරුඳු ඉඩමක් වටා ඇද ඇති කම්බිවලට සම්බන්ධ කර ඇති බව  හංසිකාගේ පවුලේ අයත් අවට තව කිහිප  දෙනෙකුත් දැනගෙන සිටියහ. හංසිකා කොහේ ගියේදැයි පැය භාගයක් පමණ  නිවසේ අය එකතුවී වටේ පිටේ සෙව්වේය.


විදුලිය ඇද ඇති ඥාති නිවසේ ගෙහිමියාට කතාකර කුරුඳු ඉඩමට ඇද ඇති අනවසර විදුලිය විසන්ධි කරන ලෙස ඉල්ලා සිටියේය. ගෙහිමියාගේ නියෝගය වූයේ අතුරුදන් දෙදෙනා සොයා කුරුඳු ඉඩමට නොයන ලෙසයි.   පසුදා පාන්දර ගෙහිමියාගේ බිරිඳ ඔවුන්ගේ කුරුඳු ඉඩමේ දෙනෙක් වැටී ඇති බව කෑ ගසා කීවාය. ඒ වන විට ගෙහිමියා අතුරුදන්ව සිටියේය. වැටී සිටියේ අතුරුදන්වූ හංසිකා සහ සුරාජ් ප්‍රසන්නයි. කුරුඳු ඉඩමට ඇද තිබූ විදුලි කම්බියේ දැවටී මුනින් අතට වැටී සිටි දෙදෙනාම ඒවනවිටත් මියගොස් තිබුණි. ඔන්ලයින් ඔස්සේ දැන හඳුනාගෙන සිටි තරුණ පෙම්වතුන් යුවළක අවසානය එය විය.   මේ තරුණිය සහ තරුණයාට මරු කැඳවු  අනවසර විදුලිය ඇදීම ගැන අසල්වැසියෙකු මෙන් ම කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික පී.එම්. කුමාරරත්න මහතා අපූරු කතාවක් කීවේය.


“මීට මාස හතරකට විතර ඉස්සර ඔය ළමයි දෙන්නා මැරුණ ඉඩම පැත්තෙන් ඉවසන්න බැරි ගඳක් ආවා. හොයලා බලනකොට ඉඩම වටේට ඇදපු විදුලි කම්බි දෙකක පැටලිලා බල්ලෝ දෙනෙක් මැරිලා, කුණුවෙලා. ඒ වෙලාව්වේ මම පොලීසියට කිව්වා මේ මනුස්සයා හොරෙන් විදුලිය ඇදලා තියනවා මේක ඉවත් නොකළොත් මහ අනතුරක් වෙයි කියලා. හැමදාම රෑ නවයට විතර විදුලිය සංධි කරලා පාන්දර විසංධි කරනවා." කොලොන්න පොලීසියට සැකකරු ගෙන්වා අවවාද කර විදුලි වයර් ගලවා ඉවත් කරන ලෙස නියම කළ බව පොලීසිය පැවසුවේය. එහෙත් පොලීසියට වුණ පොරොන්දුව නිවෙස් හිමියා කඩ කළේය. මේ විදුලි වැටේ දැවටී මියයන වල් ඌරන්, මීමින්නන්, ඉත්තෑවුන් මස්කර පිටස්තර ප්‍රදේශවලට විකිණීම නිවෙස් හිමියාගේ ක්‍රියාවක්  බව ද පොලීසිය කීවේය.

මේ මරණ දෙක සම්බන්ධව විදුලිය ඇද්ද නිවසේ ගෙහිමියා පොලිසියෙන් සොයන විට, විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ද පැමිණ විමර්ශනයක් ඇරඹු බව කොලොන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.වී. රෝහණ මහතා පැවසුවේය. පසුව සැකකරු පොලිසියට බාරවිය. කංකානමගේ රූපසේන නැමැති සැකකරු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී රන්කෝත්ගේ මහත්මිය හමුවට ඉදිරිපත් කර ලබන 2දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම  කරනු ලැබිණි. මියගිය තරුණයා සිය පියා සහ මල්ලී සමග වඩු වැඩවල නිරතවන වෘත්තිකයෙකි. ඔහුට මේ ඉරණම අත්වූ බව දික්වැලේ ඔහුගේ ඥාතීන් දැන ගත්තේ කොළොන්න පොලීසිය කළ දැනුම්දීමක් අනුවය. මෙදින සන්ධ්‍යාවේ සිට ඔහු නිවසින් පිටව ගිය පසු යළි නොපැමිණි නිසා ඔහුගේ මව්පියන් සහ ඥාතීන් ඔහු සොයමින් සිට ඇත.

දරුවන් සහ තරුණයන් නවීන තාක්ෂණය සමග ගැටෙන විට තරුණ හැඟීම් නිසා නීතිගරුක බවින් ද ඉවත්ව ඇති බව මේ සිද්ධියෙන් පෙනී යයි. නිරෝධායන ඇඳිරි නීතිය මැද පළාත් මායිම් පැන ඇවිත් යළි ආපසු යනවිට ඇති ආරක්ෂාව ගැන නොසිතීම ද  ගැටලුවකි.  නිවසකින් පිටතට විදුලිය ගැනීම තහනම් ක්‍රියාවක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මේ සිද්ධිය ගැන කළ විමසුමක දී පැවසුවේ.

"මේ විශාල වරදක්. මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙනමම විමර්ශනයක් කළ යුතුයි. විමර්ශනය අවසන් වනතෙක් එකි නිවසට විදුලිය විසංධි කිරීමේ හැකියාවකුත් තියනවා. කෙසේ වෙතත් මේ මරණ දෙක අපිට පාඩම් කිහිපයක් කියා දුන්නේ ය. ඔන්ලයින් සහ මුහුණු පොත ආදිය පරිහරණය කරන තරුණ දරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳ පසු විපරමක අවශ්‍යතාව දැන් ඕනෑවටත් වඩා වුවමනා බව ඉන් හැගෙයි. මොන තරම් යහපත් කෙනෙක් වුව ද, තාක්‍ෂණය භාවිතයේ දී ඔහුගේ හෝ ඇයගේ ආකල්ප විශාල  වෙනස්කම්වලට කඩිනමින් බඳුන් විය හැකිය යන්න මේ සිද්ධිය අපිට පාඩමක් කියා දෙයි.

(අජිත් ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)