බුත්තල ප්‍රදේශයේ පෙරේදා (02) විහාරස්ථානයක හිමි නමක විසින් සිදු කළේ යැයි කියන පහරදීමකින් ව්‍යපාරිකයකු රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව බුත්තල පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබමින් ඇත්තේ දියතලාව හේලිස් කන්ද ප්‍රදේශයේ පදිංචිකුවකු වන දැනට බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන විසි නව හැවිරිදි ව්‍යාපාරිකයකි. තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් පැමිණි මෙම හිමිනම ඉදිරි පිට දී ගැහැණු ළමයි කඩේ අස්සේ දාගෙන මොකද කරන්නේ යැයි අසා බැණ වැදී තමන්ගේ වම් කනට පහර දුන් බවට ව්‍යාපාරිකයා බුත්තල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.



පහර කෑමට ලක්වූ ව්‍යාපාරිකයා මේ වනවිට මොනරාගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බුත්තල පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසිය. මෙම පහරදීමට අදාල දර්ශන වෙළඳසලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පටිගතව ඇති බව ද පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ හිමිනම මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

මොනරාගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බුත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

(මොනරාගල නයනජීව බණ්ඩාර)