පවතින තත්වය තුළ අවම බස් ගාස්තුව රුපියල් විසිපහක් (25/) වන ලෙස රුපියල් එකොළහකින් හා එතැන් සිට පවතින ගාස්තු 25කින් ඉහළ දැමිය යුතු බවත් බස් සංගම් රජයට යෝජනා කර සිටි. අදාළ යෝජනාව මේ මස 

06වැනිදා ප්‍රවාහනය අමාත්‍යවරියට භාරදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි. කෝවිඩ් තත්වය තුළ රජයෙන් බස් හිමියන්ට සහන ලබා නොදීම නිසා හා අමතර කාටස් මිල ඉහළ යාම සේවක වැටුප් හා බස් රථවලට අදාළ සේවා කටයුතු ගාස්තු ඉහළ යාම නිසා බස් කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

මීට අමතරව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ යම් වසරේ ජූලි 01 වැනිදා සිදුවිය යුතු බස් ගාස්තු සංශෝධනයත් බස් හිමියන්ට ලබානොදුන් බවත්, මේ අනුව රුපියල් දාහතරක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් විසිපහක් දක්වා ඉහළ දැමිය යුතු අතර,


එතැන් පටන් ගාස්තුව 25කින් ඉහළ දැමිය යුතු බවත් හතම පවසා සිටියේය.මේ මස 06වැනිදා අදාළ යෝජන්නාව භාරදී දින 14 තුළ එය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බවත්, පවතින තත්වය තුළ මෙම බස් ගාස්තුව නොලැබුණහොත් බස් කර්මාන්තය තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. කෝවිඩ් තත්වය තුළ අර්බුදයට ලක්වූ බස් කර්මාන්තය රැකගැනීමට ප්‍රවාහන ආයතන විසින් බස් හිමියන්ට කිසිදු සහනයක් ලබා නොදුන් බවත්, ලබාදුන් ලීසිං වාරික සහනට අනුව නැවත ලීසිං වාරික ගෙවීමේදී අධික පොලියක් ගෙවිමට සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය.

 මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතී ගැමුණු විජේරත්න මහතා  ප්‍රකාශ කළේ පවතින වාතාවරණය මත බස් කර්මාන්තය රැකගැනීමට නම් බස් ගාස්තු වැඩිවීමක් අත්‍යවශ්‍ය වන බවයි. කෝවිඩ් තත්ත්වය හමුවේ මගී ජනතාව අඩු වීමත්,

භාණ්ඩ හා සේවා ගාස්තු නොසිතු ලෙස ඉහළ යැමත්, පසුගිය කාලය තුළ දී බස් කර්මාන්තය කඩා වැටීමත් යන හේතූන් මත බස් හිමියාත් බස් සේවක පිරිසත් ඉතා අසරණභාවයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම බස් කර්මාන්තය වෙනුවෙන් රජයේ පාර්ශ්ව යෙන් ප්‍රමාණවත් සහන නොලැබුණු බවත් අදාළ ආයතන ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුනොකළ බවත් ඒ නිසා ඉදිරියේදී රජය විසින් බස් කර්මාත්තයේ පැවැත්ම වෙනුවෙන් ලබාදෙන සහන මත මිල වැඩිවීමේ ප්‍රමාණය තීරණය වනු ඇති බවත් පවතින තත්ත්වය මත අනිවාර්යයෙන් ගාස්තු වැඩිවිමක් සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)