රසායනික කාබනික පොහොරේ තිත්ත ඇත්ත - මහාචාර්ය බුද්ධි මාරඹේ

Ad Code

රසායනික කාබනික පොහොරේ තිත්ත ඇත්ත - මහාචාර්ය බුද්ධි මාරඹේ

buddhi-marambe-speaks

ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුගත කිරීමේදී කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවේදී සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය.  ඒ කාබනික ද්‍රව්‍ය යෙදීම හරහා දීර්ඝකාලීනව කාබනික කෘෂිකර්මයට බර තැබීම ගැන එහි පැහැදිලිව සඳහන්වීම පැත්තෙනි. දේශගුණික විපර්යාසවලට තිරසරවිසඳුම් සෙවීම සදහා  හ සමාජ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නමැති සංකල්පය මගින් 2021 අප්‍රේල් 27 පැවැති කැබිනට් හමුවේදී කාරණා විස්සකින් යුතුව සාකච්ඡාවක් සිදුවූයේ මේ අතරේ. කෘතිම පොහොර මෙන්ම කෘතිම පළිබෝධනාශක ආනයනය හා භාවිතය තහනම් කරන ලද පුවත වාර්තාවූයේ ඉන්පසුවය.   මා මෙතෙක් කළ අධ්‍යයන හා පර්යේෂණ ඇසුරෙන් එම තීරණය ඒ  මොහොතේම මා දුටුවේ නිදහසින් පසු ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත් වැරැදිම තීන්දුවක් හැටියටය. අත්‍යවශ්‍ය  නොවන දේ ආනයනය ගැන සඳහන් කරමින් මැයි මස 6 වැනිදා නිකුත් වූ ගැසට්ටුවකින් මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කෙරුණේ  කෘෂිකාර්මික යෙදවුම් ගැනය.



එතැන් පටන් මේ දක්වා මාස හයකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඒ කාලයේදී කෘෂිකර්මයට අදාළව හැලහැප්පිලි ගණනාවක්ම රට පුරා දැකගත හැකි විය. මා එම කාලය දකින්නේ  නිදහසින් පසුව කෘෂිකර්මයෙහි අප අත්පත් කරගත් ජයග්‍රහණ දැන හෝ නොදැන ආපසු හැරවීමට වැඩ සිද්ධ වූ කාලයක් හැටියටය. ලංකාවේ කෘෂිකර්මය දශක හතක් තිස්සේ මේ තැනට ආවේ විද්‍යාඥයන් වර්ධනය කළ දැනුම මෙන්ම ගොවි මහතුන් ඊට දැක් වූ ප්‍රායෝගික දායකත්වය නිසාය. නිදහසට පෙර සශ්‍රීක අතීතයක් ගැන සාහිත්‍යක් ඇතත් ඒ ගැන නිසි මූලාශ්‍ර සහිත කරුණු ගැන අප දන්නේ නැත. 1940 සිට 2020 දක්වා වසර 80ක නුතන කෘෂිකර්මාන්තය ගැන කතා කළහොත් ඊට පෙර ලංකාවේ  පාරම්පරික කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට රසායනික යෙදවුම් භාවිත කළ කෘෂිකර්මාන්තයක නියැලී තිබුණේ නැත.

මේ නිසාම ඒකක ක්ෂේත්‍ර ඵලයකින් නැතහොත් හෙක්ටයාරයකින් ගත් අස්වැන්ත ටොන් 0.6ක් වැනි අතිශය සීමිත ප්‍රමාණයක් විය. ඒ වනවිට ලංකාවේ ජනගහනය වූයේ ලක්ෂ 60කි. මේ ලක්ෂ හැටට ආහාරයට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් සියයට 60ක්ම ඒ වනවිටත් තිබුණේ ආනයනය කරමිනි. ආචාර්ය හෙක්ටර් වීරරත්න වැනි දේශීය විද්‍යාඥයන් මෙසේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව සහල් අස්වන්න වැඩිකිරීම ගැන කල්පනා කළේ ඒ අනුවය. හරියටම කිව්වොත් ආචාර්ය නෝමන් බෝලෝග්ගේ හරිත   විප්ලව සංකල්පය මහපොළවේ පැලපදියවීම්වීමටත් පෙරාතුවය. ඒ අනුව සහල් නිෂ්පාදනය සඳහා ප්‍රථම වතාවට වී අභිජනන ක්‍රමයක් සැකසිණි.  1958 දී එච්4 නමැති වී ප්‍රභේදය නිදහස් කෙරුණේ එහි ප්‍රතිඵලයක්  වශයෙනි. හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වන්න මෙමගින් ටොන් 2-2.5 අතර දක්වා ඉහළ දැමීමට අපට හැකි විය.


ලංකාව මෙම ජයග්‍රහණ අත්පත් කරගත්තේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ මධ්‍යස්ථානය 1960  අමුතු තරකවලට පිළිතුරු   දශකය මුලදී පිලිපීනයේදී පිහිටුවීමටත් පෙර බව අවධාරණකටයුතුය. එසේ බලද්දී හරිත විප්ලවය තුළ වී වගාවේ පුරෝගාමීන් හැටියට දේශීය විද්‍යාඥයන් හැඳින්වීමෙහි වරදක් නැත.  හරිත විප්ලවය ගැන විවිධ මතිභ්‍රම සමාජයෙහි පසුගිය කාලයේදී  දැකිය හැකි විය. එහෙත් ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයාගැනීම ගැන මේ බොහෝදෙනෙක් කතා නැත. ශාකයකට වුව අවශ්‍ය අස්වැන්න ලබාගැනීමට නම් ඊට අවශ්‍ය යෙදවුම් හා පෝෂණය අවශ්‍ය පරිදි ලබා දිය යුතුමය.  හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වැන්න එච් 4 වී ප්‍රභේදයේදී ටොන් 2-2.5 ත් අතර ඉහළ අගයකට ගෙනගියේ මේ අවශ්‍යතා ද සැපිරිම සමගය. ඉන්පසුව බතලේගොඩින් බී. ජී. අම්බලන්තොටින් ඒ.ටී. බෝඹුවෙලින් බී.ඩබ්ලිව්. ලබුදුවෙත් එල්.ඩී. ආදී වශයෙන් විවිධ පරිසර තත්ත්වයන්ට ගැළපෙන පරිදී නිෂ්පාදනය කළ වී ප්‍රභේද නිසා වර්තමානය වනවිට ලකාවේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 4.8ක් වැනි ඉහළම අගයකට ගෙනෙන්නට ලංකාවට හැකි විය.

විද්‍යාඥයන්ගේ පරිශ්‍රමයට සමගාමීව ගොවීන් තාක්ෂණය වැළඳගැනීම ඊට විශාල වශයෙන් බලපෑවේය. ලංකාවේ වී වගා කරන වපසරියෙන් සියයට 98කට ආසන්න වූ ප්‍රමාණයක් මෙම වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද සඳහා භාවිත කරන්නේ මෙම පසුබිමේය. මෙවැනි තත්වයකට අස්වැන්න ලබාදීමට ශාකයට දුන් එක් යෙදවුමක් වූයේ පෝෂණයයි. ඒ සදහා පොහොර අවශ්‍යය.  පොහොර යනු නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන මූලික මූලද්‍රව්‍ය තුන ලබාදෙන ප්‍රභවයයි. ඒවා අවශ්‍ය අවස්ථාවේදී ඉක්මනින් ශාකයට ලබා දිය යුතුය. නයිට්‍රජන් සියයට 46ක් අන්තර්ගත යූරියාත් පොස්පරස් ප්‍රභේදය ලබාදෙන සාන්ද්‍ර සුපර්පොස්පේටුත් පොෑටසියම් ලබාදෙන මියුරේට් ඔෆ් පොටෑස් යන පොහොරත් ලොව පුරා ජනප්‍රිය වූයේ ඒ අනුවය. පොහොර සුළු ප්‍රමාණයකින් පෝෂකය කඩිනමින්  ශාකයට ලබාදීමේ හැකියාව ඊට බලපෑවේය.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩපිළිවෙළ සකස් වී තිබුණේ හෙක්ටයාරයකට වී ටොන් පහක් ලබාගැනීමේ ඉලක්කයටය. ඒ ඉලක්කයේදී වී ශාකයට හෙක්ටයාරයට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් අවශ්‍යය. 2013 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයට අනුව හෙක්ටයාරයකට යූරියා කිලෝ ග්‍රෑම් 225ක් යෙදියො යුතු යැයි නියම වූයේ මේ අවශ්‍යතාව අනුවය.   යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය සියයට 46කි. කිලෝග්‍රෑම් 225 ක්  යෙදු විට එය 0.46න් වැඩි කළ විට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 103.5කි. මා මෙම කතාව ගණන් හිලව් ඇතිව කියන්නේ අන් කිසිවක් නිසා නොව පොහොර නිර්දේශය යනු දීර්ඝ වශයෙන් කෙරුණු පර්යේෂණවල ප්‍රතිඵලයක් බව පෙන්වාදීමටය. පොහොර මගින් පෝෂකය මුදා හරින වේගයත් ශාකය මගින් පෝෂකය උරාගන්නා වේගයත් සමපාත කිරීමෙන් නිර්මාණය වන මේ සූත්‍රය හිතළුවක් නොවේ. යූරියා කිලෝග්‍රෑම් 225 වුව එකවර නොමැතිව වාර කීපයකදී ශාකයට ලබාදෙන්නේ එනිසාය.



යූරියාවල උපයෝගිතා කාර්යක්ෂමතාව සියයට 30 බවට  බෙරිහන්දෙන්නන්ට කියන්නට තිබෙන්නේ මෙසේ කොටස් වශයෙන් පොහොර යෙදීම ඊට පිළිතුර බවය.   එසේම විද්‍යාඥයන් හැමදා කීව්වේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය යොදන්නැයි කියාය. ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය යන බරපතළ වචන හතරෙන් කියන්නේ ඒකය.  කෘෂිකර්මය ගැන මෑතකාලීන විවාදයේදී ඇතැමුන් යොමු කළ අමුතු තර්කවලට ද පිළිතුරු දෙමින් මේ කතාව ඉදිරියට යා යුතුය. සිංහරාජය වැනි වනාන්තරවල පොහොර නොදා ගස් හැදෙන්නේ කොහොමද යන්න එවැනි ජනප්‍රිය ප්‍රශ්නයක් විය. ස්වභාවික පරිසර පද්ධතියක් යනු චක්‍රීකරණය වන සංවෘත පරිසර පද්ධතියකි. එහෙත් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් යනු සෑමවිටම අස්වැන්න  ලෙසින් කොටසක් ඉවත් වන පරිසර පද්ධතියයි. නිදසුනකට අප වී අස්වැන්න ඒ බිමේම පොළවට දමා පස් කරන්නේ නැත. එවිට පරිසර පද්ධතියෙන් කිසියම් පෝෂක ප්‍රමාණයක් ඉවත් කෙරේ.

 හෙක්ටයාරයකින් වී ටොන් පහක අස්වැන්නක් ගත්තොත් අප ඊට  යෙදූ නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 103.5න් කිලෝ ග්‍රෑම් 50ක් ඉවත් වේ. මේ ඉලක්කම දකින අයකු ඇතැම්විට එසේනම් කිලෝග්‍රෑම් 50ක් පමණක් යොදන්නට තිබුණා නේදැයි ඇසිය හැකිය. ඊට පිළිතුර නම් අස්වැන්නක් ගැනීමට නම් ශාකය ද හොඳින් වර්ධනය විය යුතු බවය. මනුෂ්‍ය දරුවා බඩගා දණගා පෙරපාසල පාසල හා සරසවි පිවිසුමට පැමිණියා හා සමානවම ශාකයක ද වර්ධනීය අවස්ථා ඇත. මේ ක්‍රමික විකාශනය හා ඊට අදාළ ගණනය කිරීම් තේරුම්ගැනීමෙන් තොරව වගාව ගැන කරන කුප්‍රකට වාදයන්ගෙන් පලක් නැත. ශාකයක් යනු ද ජීවියෙකි. ජීවියාගේ වර්ධනයට  අවශ්‍ය පෝෂණය නොදුනොත් අපට අවශ්‍ය අස්වැන්න ලැබෙන්නේ නැත. මේ සරල සිද්ධාන්තය තේරුම්ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය නැත.

කෙසේ වෙතත් කෙනකුට ඊළඟට ඇසිය හැකි ප්‍රශ්නයක් නම්  මේ යෙදවුම් කාබනික ද්‍රව්‍ය හරහා ප්‍රදානය කිරීමට නොහැකිද යන්නයි. අප වගාවට කාබනික ද්‍රව්‍ය යොදන්නේ ආකාර කීපයකටය.  එක් ආකාරයක් නම් පෝෂක ලබාදීමේ අරමුණෙන් කෙරෙන කාබනික පොහොරය. දෙවැන්න කොම්පෝස්ට්. කොම්පෝස්ට් යනු  පොහොරක් නොවේ. කොපෝස්ට් පසට ලබාදෙන්නේ පසේ තිබෙන  රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක ගුණාංග දියුණු කිරිමටය.  හොඳින් සැකසූ කොම්පෝස්ටවල නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1ක් වැනි සුළු ප්‍රතිශතයකි. ප්‍රශස්ත කාබනික පොහොරක නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1.5-3 දක්වාය. බොහෝ අය කියන මුහුදු පැලෑටිවලින් ගතහැක්කේ ද අතිශය සුළු නයිට්‍රජන් ප්‍රමාණයකි. එවැනි ප්‍රතිශතයක් පවා ලැබෙන කෙල්ප් නමැති මුහුදු පැලැටිය වැවෙන්නේ ද උත්තර ධ්‍රැවය වැනි අතිශය ශීතාධික කලාපයේය.  ඒවායෙන් හිතුමතයට අස්වනු නෙළාගන්නට ද නොහැකිය.  නෙළාගත්තත් ශාකයේ උපරිම ලෙස ඇති සියයට 6ක නයිට්‍රජන්  ප්‍රතිශතය නිෂ්පාදන ක්‍රියාවලියේදී තවත් අඩුවේ.

මේ ගණන් හිලව් මෙසේ දක්වන්නේ පොහොර පිළිබඳ වාදයේ ඇත්ත කතාව  තේරුම්ගැනීමේ පහසුව තකාය. සැබැවින්ම රජය පවා මුලදී  කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති සකසමින් සිටියේ මේ කරුණු ගැන දැනුවත්වය. ප්‍රශ්නය පැමිණියේ කාබනික වගාව රැඩිකල් ලෙස කරන තැනට තල්ලු කළ උපදේශකයන්ගේ විද්‍යාත්මක ඥානය නිසාය. එමෙන්ම මේ විෂය ගැන මෙලෝ  දැනුමක් නැති මිනිසුන් ද ඊට එකතු වූ කළ කෘෂිකාර්මාන්තය වළපල්ලට යවන තැතක් බවට එය පත්විය. ජනාධිපතිවරයාවත් කෘෂිකර්ම ඇමැතිවරයාවත් රටේ කෘෂිකර්මාන්තය ගැන විෂය ප්‍රාමාණිකයන් විය යුතු නැත. එහෙත් ඔවුන්ට උපදෙස් දෙන ප්‍රතිපත්ති සකසන පිරිස වැරැදි උපදේශයක් දුන්හොත් රටකට වන විනාශය සුළුපටු නැත.

ශ්‍රී ලංකා කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය මේ ක්‍රියාවලිය  ආරම්භයේදීම අනතුරු ඇගවූයේ මෙමගින් රටට විශාල අස්වනු  හානියක් වනු ඇති බවය. ආහාර සුරක්ෂිතතාවයේදී අස්වැන්නේ ප්‍රමාණය යනු මූලික සාධකයකි. අස්වැන්නේ ප්‍රමාණය අඩුවීම වනාහි  අපලබන ආහාර ප්‍රමාණය ද අඩුවීමය. මහජනතාවට තවම මේ ගැන දැනී නැතත් ගොවිබිමේ සිටින ගොවීන්ට දැනටමත් එය දැනී තිබේ.   ගොවීන් ගොවිබිමෙ පාරට බැස්සේ සිය ජීවනෝපායට සිදුවන හානිය නිසාය. කෙසේ වෙතත් මේ අඳුරු වළා අතරේ යම් රිදී රේඛාවක් ද තිබේ. ඒ ගැන ද අවසන මෙහි  සඳහන් කළ යුතුය. කෘෂිකර්ම ද‍ෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම අවධාරණය කළේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය  යොදන්නටය. මේ සිදුවීම් පෙළ  විසින් ගොවින්ට කාබනික ද්‍රව්‍ ය යෙදීමට කිසියම් උනන්දුවක් ඇති කරනු ලැබිණි.


මා උදක්ම ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ උනන්දුව නම් නැති නොකරගන්නා හැටියටය. ශාකයට අවශ්‍ය මුළු පෝෂණය එමගින් නොලැබුණත් රසායනික පොහොරවල ඇති පෝෂණය නිසියාකාරව ශාකයට ලැබිය හැකි වාතාවරණයක් එයින් සැකසේ. එනිසා මේ උනන්දුව ගොවීන්ට ආයෝජනයකි. මුලදී කතාවක් ආවේ ලංකාවට අවශ්‍ය තරම් කාබනික පොහොර ඇති කියාය.

එහෙත් ඒවාට උපදෙස් දුන් පිරිස් ද ටික කාලයක් යද්දී සොයාගත නොහැකි විය. පෙර කී ආකාරයට අවශ්‍ය තරම් පොහොර ලංකාවේ නැති වග රජයට ද පැහැදිලි විය. චීනයෙන් පොහොර ආනයනය කරන තැනට කටයුතු සිදුවූයේ ඉන්පසුවය.  මේ වනවිට එම පොහොර නැව ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරවය. එය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවක් බවට පත්ව ඇති නිසා ඒ ගැන මම කතා නොකරමි..

 එහෙත් මේ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා කාරියසාධක බලකා කීපයක්ම පත්කරමින් වෑයමක් ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වන අයුරු ද අපට දකින්නට ලැබිණි. හරිත කෘෂිකර්මාන්තයක් සදහා වූ කාර්යසාධන බලකාය යනු ඒ සඳහා ගත් ආසන්නම වෑයමයි. මීට පෙර මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කාර්යසාධක බලකායක්  ද විය. මා දන්නා ආකාරයට එය ද බලරහිත කළ බවක් වාර්තා වූයේ නැත.   කෙසේ වෙතත් රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සේනාධිපති වූ  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කිසිදු බලකායක සිටිනු අපි දුටුවේ නැත. මෙය ඉතා බරපතළ කරුණකි. රටේ කෘෂිකර්මය ගැන නිල බලයෙන් ප්‍රතිපත්ති සැකැසීමේ නියමුවා නැති කාර්යසාධක බලකායකින් කුමන පලයක්ද? ජනාධිපතිවරයා හොඳ චේතනාවකින්ද මීට මුල පුරන්නට ඇත. එසේම කිසිවකු හෝ දුන් නම් ලැයිස්තුවක්ද ඊට බලපාන්නට ඇතැයි කෙසේ නොසිතමුද?

රටක ආර්ථික දියුණුවේ ප්‍රමුඛත්වය පෞද්ගලික අංශය දැරීම විය යුතුමය. ඒ ගැන අපට වාදයක් නැත. එහෙත් මේ තීරණාත්මක මොහොතේ නැවතත් තීන්දු ගන්නට පත්කරන ආකෘතිවලදී රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද්විතියීක තැනට ඇද දමනවා නම් එය බරපතළය. නිදසුනකට තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගහැර අපට තේ වගාව සම්බන්ධයෙන් තීරණ ගත නොහැකිය. අප බලධාරින්ට කියන්නේ මේ දේවල් මේ ආකාරයට සිදුවෙන්නට ඉඩ නොදෙන්නැයි කියාය. මේ ගන්නා තීන්දු, අර්බුදයේම දිගුවක්ම වේවිද නොවේවිද යන්න මේ හඬට සාවධාන වීම හෝ නොවීම මත තීරණය වනු ඇත.

(සටහන - බිඟුන් මේනක ගමගේ - කාලීන සටහන් - ලංකාදීප)




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu