The-thief-who-broke-into-the-engineer's-house-tied-his-wife's-hands-and-beat-her-and-stole-her-phone-and-bank-cards

ඉමදුව, වතවන ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයකුගේ නිවසට ඊයේ (17වැනිදා) අලුයම පැමිණි කොල්ලකරුවන් තිදෙනකු, විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයාගේ සහ බිරිඳගේ දෑත් බැඳ පහරදී බැංකු කාඩ්පතක් හා ජංගම දුරකථන තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි ඉමදුව පොලිසිය කීවේය.





එම කොල්ලකරුවන් කළු පැහැති ජැකට්වලින් සැරසී අත්වැසුම් හා හිස්වැසුම් දමාගෙන නිවසට ඇතුළුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ වනවිට නිවසේ සිට ඇත්තේ යුවළ පමණි. විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයාගේ බිරිඳ විශ්‍රාමික ගුරුවරියක වන අතර, ඔවුන් දෙදෙනා 68 හැවිරිදි වියේ පසුවෙති. මෙම යුවළ රාත්‍රි 10.00ට පමණ නින්දට ගොස් ඇත.

කොල්ලකරුවන් තිදෙනා නිවසේ පිටුපස දොරෙන් නිවසට ඇතුළුවී ඇති බවට සැක කරයි. කොල්ලකරුවන් විශ්‍රාමික ගුරුවරිය නිදා සිටි කාමරයට ගොස් ඇයට පහරදී රන් භාණ්ඩ හා මුදල් ඉල්ලා ඇත. රන් භාණ්ඩ බැංකුවල බව ඇය විසින් පැවසීමෙන් පසු ඇයගෙන් බැංකු කාඩ්පත ඉල්ලාගෙන ඇත. බිරිඳගේ කෑ ගැසිමට සැමියා ද ඇයගේ කාමරයට පැමිණ තිබේ. කොල්ලකරුවන් විසින් ඔහුට ද පහරදී අත් බැඳ මෙට්ටයක් ඔහුගේ සිරුර මතට දමා තිබේ. කොල්ලකරුවන්ගේ පහරදීමෙන් හිසට තුවාල වී ඇති විශ්‍රාමික ගුරුවරිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කොල්ල කෑම පිළිබඳ අලුයම 5.30 පමණ විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයා විසින් ඉමදුව පොලිසියට පැමිණිලි කර තිබේ. ‌​ෙම් අතර, බැංකු කාඩ්පතද අක්‍රිය කර ඇත. ඉමදුව පොලිසිය කොල්ලකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.
(රවීන්ද්‍ර චන්ද්‍රලාල්- හිනිදුම, යූ.එම්.තිලකරත්න - ලබුදුව)