There-are-no-microorganisms-in-our-organic-fertilizers-china

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණිම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක්ක්නිකුත් කරමින් කියා සිටී.  මෙරටට ගෙන්වූ පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමග චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින්මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 චීන තානාපති කාර්යාලය නිකුත් කළ  නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ  අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර  නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස්  අංශක 600ක උෂ්ණ තත්වයක ජීවානුහරණය  කිරීමේදී අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.

  කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වූ බව ද නිවේදනයේ දැක්වේ.කෙසේ වෙතත් ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අනුව අර්වීනියා බල්ගේරියාව හඳුනාගැනීමට අවම වශයෙන්  දින 6ක කාලයක් ගත වන බවත් ඒ අනුව  ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව  කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බවත් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ වාර්තාව මත පදනම්ව ජීවින් සමාගමේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තුළින් සමාගමට ප්‍රශ්න සහගත බවක් මෙන්ම විශාල මූල්‍යමය හානියක්ද සිදුවන බව එහි සඳහන් වේ.  එම නිසා විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව දෙපාර්ශ්වය මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා කර වාසි සලසා ගනු ඇතැයි තානාපති කාර්යාලය අපේක්ෂ කරන බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.