angoda-incident

ඊයේ අංගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් නිසා පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙහිදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසියෙන් කියා නිවසකට ඇතුළු වී නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ මුඛයටද වෙඩි තබා පලා ගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය පවසයි. 


අංගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මාර්ග කොන්ත්‍රාත් කටයුතුවල නිරතව සිටි ටී.නුවන් මිලින්ද (42) නමති අවිවාහකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (26) උදෑසන හයයි දහයට පමණ නිවස ඉදිරිපස ප්‍රධාන දොරටුව අසලට පොලිස් වේශයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය අමතා"කෝ මිලින්ද”යයි අසා ඇති අතර කාමරේ නිදී යැයි පැවසීමත් සමගම නිවස තුළට බලහත්කාරයෙන් ඇතුළු වී කාමරයේ දොර කඩා ඇතුළුව බිම මෙට්ටයක් දමාගෙන නිදාසිටි පුද්ගලයාගේ හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.

එහිදී සහෝදරියගේ ස්වාමිපුරුෂයා  (මස්සිනා) පැමිණි එක් පුද්ගලයෙකු සමග පොරබදා ඇති අතර එහිදී ඔහුගේ මුඛ ප්‍රදේශයට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනා නිවසින් පිටවී ගොස් තිබූ බවද පොලිසිය පවසයි. වෙඩි තැබීම සදහා මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති අතර නිවෙස තුළ වැටී තිබූ හිස් පතුරම් කොපු හයක් පොලීසිය මගින් සොයා ගෙන ඇත.

වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා විසින් ඉඩමක් ගොඩ කිරීමක් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතු වූවා ද යන්න සොයා බලන බවත් පොලීසිය පවසයි.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)