ambanpola-incident

දේශීය වී වගාව සහ ගොවිකරණය පිළිබඳ පර්යේෂකයකු මෙන්ම සංරක්ෂකයකු වූ අඹන්පොළ ග්‍රාම නිලධාරි කේ.පී. සපුකුමාර මහතා ඊයේ (4) උදැසන රාජකාරියට යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් අතරමගදී කපා කොටා ඝාතනය කරනු ලැබ ඇතැයි අඹන්පොළ පොලීසිය පවසයි. ග්‍රාම නිලධාරි සපුකුමාර මහතා ඊයේ (4) උදෑසන 8.25ට පමණ ඔහුගේ යතුරුපැදියෙන් යමින් සිටියදී පාදෙණියඅනුරාධපුර මාර්ගයේ උඩංගාව කහඹිලියා වැටියවත්ත ප්‍රදේශයේදී මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. අඹපොළ දකුණ ග්‍රාම නිලධාරි 52 හැවිරිදි එස්.එම්. කපිල ප්‍රියන්ත සකුමාර මහතා දෙදරු පියකු වන අතර, ඔහු අඹන්පොළ රොලව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන සභා රැස්වීමකට සහභාගි වීම සඳහා ඊයේ (4) උදෑසන 8ට පමණ නිවෙසින් පිටත්ව පැමිණ ඇති ග්‍රාම නිලධාරිවරයා,

අතරමගදී නාඳුනන පිරිසකගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු ප්‍රදේශවාසීන් වහාම ඔහු අඹන්පොළ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි. සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ග්‍රාම නිලධාරිවරයා දළදාගම සිට ගල්ගමුව දෙසට ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් හප්පා පලා ගිය බවට ලද දුරකතන ඇමතුමකට අනුව පොලිස් රථවාහන අංශයේ කණ්ඩායමක් පරික්ෂණ පැවැත්වීමට එහි පිටත්ව ගොස් ඇති බව අඹන්පොළ පොලීසිය පවසයි.

ඝාතනය වූ ග්‍රාම නිලධාරිවරයාගේ සිරුරේ වූ විශාල කැපුම් තුවාල හේතුවෙන් මෙය හදිසි රිය අනතුරක් නොව, කපා කොටා කළ ඝාතනයක් බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. වෑන් රථයෙන් පැමිණි පිරිස ග්‍රාම නිලධාරිවරයාගේ යතුරුපැදිය හප්පා ඔහු අනතුරට පත් කිරීමෙන් පසු, කපා කොටා ඝාතනය කර පලා යන්නට ඇති බවට සැක කරන බව ද පොලීසිය පවසයි.

මෙම ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ද එසේ නැතහොත් වෙන යම් හේතුවක් නිසා දැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බවත්, මෙතෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.වගා කටයුතුවල නිරත සපුකුමාර මහතා සිය භෝග වගාවෙන් කොටසක් වල් අලින් වෙනුවෙන් වෙන් කිරීමේ මහඟු ක්‍රියාවක් කරන ගොවි මහතකු වශයෙන් ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත්වූ අයකු බවත්,

පැරැණි වගා ක්‍රම, පැරැණි වී වර්ග ආදිය විශාල වශයෙන් රැස් කරමින් පාරිසරික වගාවේ දියුණුවට මහත් වෙහෙසක් ගත් අයකු බවත්, දේශීය ගොවිතැන සංරක්ෂණය කිරීමේ පුරෝගාමියකු ද වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණීයෙන්, නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන්, අඹන්පොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

මේ අතර, ඊයේ (4) සවස ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කර පලා ගිය වෑන් රථයේ අංකය ඔස්සේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති පොලීසිය, එහි අයිතිකරු නිකවැරටිය පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පොලීසියක රාජකාරි කරන පොලිස් නිලධාරියකු බවට අනාවරණය කරගෙන තිබේ. මෙම පොලිස් නිලධාරියාගේ වෑන් රථය ගල්ගමුවේ පදිංචි අයකු කුලී පදනම මත ඉල්ලාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව එම තැනැත්තා සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අඹන්පොළ පොලීසිය සඳහන් කරයි.

(නිමන්ති රණසිංහ)