Sextuplets-sri-lanka-ninewells

මෙරට ප්‍රථම සය දරු උපත ඊයේ (21 වැනිදා) අලුයම නාරාහේන්පිට නයින්වෙල්ස් රෝහලේදී  සිදුවිය.
කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි දිලිනි වාසනා දයානන්ද සහ තිස් පස් හැවිරිදි ප්‍රභාත් උදයංග මරවනාගොඩ මෙම දරුවන්ගේ දෙමාපියන්ය. ප්‍රභාත් උදයංග වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයකු වන අතර දිලිනි වාසනා කොළඹ පෞද්ගලික තොරතුරු තාක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන්නීය. ඔවුන් අයිඩීඑච් ප්‍රදේශයේ කුලීනිවසක වාසය කරන්නන්ය.
 
එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු පුදුමයක් මෙන්ම සතුටක් ඇතිකළ බව දරුවන්ගේ පියා ප්‍රභාත් උදයංග මහතා  ඊයේ මාධ්‍ය වෙත සඳහන් කළේය. ඔහු මෙසේ කීය.



“අපි විවාහ වුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියා. එක්වර දරුවන් හය දෙනෙක් ලැබෙන්න යන බව දැනගත් විට සතුටක් දැනුණත් යම් තිගැස්මකුත් ඇතිවුණා. ලංකාවේ මීට පෙර නිවුන් දරුවන් හයදෙනෙක් බිහිවී නොමැති බව දැනගත්තේ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා හමුවූ පසුයි. ටිරාන් ඩයස් මහතා නිරන්තරයෙන් අපට අවශ්‍ය උපදෙස් දෙමින් දරුවන්ගේත් මවගේත් ආරක්‍ෂාව තහවුරු කළා.


දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය උපදෙස් අනුව බිරිඳව සතියකට පෙර රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේදී වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇය තුළ විශ්වාසයක් ගොඩනගමින් දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් කළා. රෝහල අපි වෙනුවෙන්ම උපකරණ ඇතුළු යම් යම් දේ සූදානම් කළා. මේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දරුවන් බිහිකරන අවස්ථාවේ මට බිරිඳ අසල ඉන්න ලැබුණා.




ඒ වගේම සැත්කමින් පැයකට පසු දරුවන් බලන්නත්, බිරිඳ සමඟ කතා කරන්නත් අවස්ථාව ලැබුණා. සති 31ක් තිස්සේ මගේ බිරිඳ දරාගෙන සිටි බර අද මගේ උරමත තිබෙනවා. මට අවශ්‍ය මගේ දරුවන් රටට යහපත් පුරවැසියන් කරන්නයි. ඒ සඳහා මම උපරිමයෙන් කැපවෙනවා. මේ වෛද්‍යවරුන් මට දෙවිවරුන් වගේ. ඒ වගේම අපිට උදව් කළ අපේ පවුල්වල ඥාතීන්ටත් ස්තුතිවන්ත වෙනවා.”


 මාධ්‍ය හමුවට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් පැවසුවේ මෙම සැත්කම සඳහා වියදම රුපියල් මිලියන ගණනක් විය හැකි බවය . තවමත් එය නිශ්චිතව පැවැසිය නොහැකි බව මෙහිදී අදහස් දක්වා සිටි මෙම පෞද්ගලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය විභාෂ් විජේරත්න පැවසුවේය. විශාල පිරිසක් කණ්ඩායම් හැඟීමෙන් එක පවුලක් මෙන් පසුගිය සති හතරක කාලයක සිට මෙම දරු ප්‍රසුතියට මව සූදානම් කිරීම වෙනුවෙන් කටයුතු කළ බවද ඔහු පැවැසුවේය.