තමා සේවය කරන පාසලේ බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට ලිංගික අපයෝජනයන් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින විදුහල්පති ගිරිතලේගම සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් නිමල් වික්‍රමසිංහ මහතාට නියෝග කළේය.

සිරිසුජාත හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව සිය කාර්යාලයේදී පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ආණ්ඩුකාරවරයා විමසූ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ සිරිසුජාත හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ සම්පූර්ණ වාර්තාව ලැබෙන තුරු ඒ හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ නොහැකි බවයි එකී සම්පූර්ණ වාර්තාද අද හෙටම ලැබෙනු ඇති බවද ලේකම්වරයා ආණ්ඩුකරවරයාට දැන්වීය.



පසුව දුරකථනයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා ඇමතු පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගෙන් විමසා සිටියේ හිඟුරක්ගොඩ පාසලක දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව සිරිසුජාත හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල තත්ත්වය කුමක්ද? යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා ආණ්ඩුකාරවරයාට දන්වා සිටියේ සිරිසුජාත හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ අතුරු වාර්තාවක් මගින් සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් ඒ අනුව ඒ හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ හැකි බවත්ය.

පසුව දුරකථනයෙන් යළි පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් නිමල් වික්‍රමසිංහ මහතා ඇමතූ පළාත් ආණ්ඩුකාරවරයා විමසා සිටියේ සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ යුතු බවට විමර්ශනයේ අතුරු වාර්තාවක් මගින් නිර්දේශ කර ඇද්ද? යන්නයි.



එහිදී ලේකම් නිමල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඒ විමර්ශන අතුරු වාර්තාව මගින් සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවයි.

එසේ නම් ඒ හිමියන්ගේ රාජකාරි වැඩ මෙතෙක් තහනම් නොකළේ මන්දැයි ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසා සිටි ආණ්ඩුකාරවරයා ලේකම් නිමල් වික්‍රමසිංහ මහතාට නියෝග කළේ වාහාම ක්‍රියාත්මක වන පරිදි සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කරන ලෙසයි. අධිකරණය හමුවේ අපරාධ චෝදනාවන්ට ලක් වන කිසිදු නිලධාරියෙකු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නැති බවද ආණ්ඩුකාරවරයා කීවේය.

සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ යුතු බවට විමර්ශන අතුරු වාර්තාවක් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් නිමල් වික්‍රමසිංහ මහතාට නිර්දේශ කර දැනට සති හතරකට ආසන්න කාලයක් ගත වුවද ආණ්ඩුකාරවරයා නියෝග කරන තුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා ඒ හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළේ නැත.

(තිසල් තෙන්නකෝන් - සාලියපුර)