Investigations-into-the-mysterious-death-of-fish-in-the-Walawe-River

අම්බලන්තොට වලවේ ගඟේ ලියන්ගස්තොට අමුණ ප්‍රදේශයේ 16දින සිට හදිසියේම මසුන් මිය යෑමක් සිදුවන බව ප්‍රදේශ වාසීහු පවසති. මිය යන මසුන් ප්‍රදේශය පුරා අලෙවි කරන බවද ඔවුහු කියති.

වලවේ ග​ඟේ ලියන්ගස්තොට අමුණ ප්‍රදේශයේ මිරිදිය මසුන් හදිසියේ මිය යෑම ආරම්භ විමත් සමඟම ප්‍රදේශයේ ජනතාව ගඟ අසලට පැමිණ මිය යන මසුන් එකතු කරගෙන අලවිකිරීම කර ඇත. එමෙන්ම වලවේ ග‍ඟේ ජලය පානීය ජලය ලෙස ස්ථාන කිහිපයකින් ලබා ගෙන නළ ජලය මගින් ජනතාවට සැපයීම සිදු කරන හෙයින් ජලයේ ගුණාත්මකභාවයේ යම් ගැටලුවක් පවතීද යන්න ජනතාව ප්‍රකාශ කරති.



මේ සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති දර්ශන සංජීවගෙන් විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ලියන්ගස් තොට අමුණ ප්‍රදේශයේ හදිසියේ මියගිය මසුන් අල්ලා ගෙන අලවි කිරීම ‍ ආසන්න ප්‍රදේශවල කර ඇති බවයි. ගඟේ ජලය අඩු මට්ටමක පවතින හෙයින් ලියන්ගස් තොට අමුණට ඉහළ ප්‍රදේශයේ දී ජලයට කිසියම් දෙයක් එකතු වූවාදැයි සැකයක් පවතින හෙයින් අදාළ අංශ ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද සභාපතිවරයා කිය.

හම්බන්තොට දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ මහතා කියා සිටියේ වලවේ ගඟේ හදිසියේ මසුන් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නාරා ආයතනය මගින් හා ජලජීවී ආයතනය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පානීය ජලය සැපයෙන මධ්‍යස්ථානවලදී ජලසාම්පල් පරීක්ෂාවද කරන බවයි.

දැනට ජල සම්පාදන මණ්ඩලය මගින්

ජලය ලබා ගන්නා ස්ථාන ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් කිසිදු අවදානම් සහගත ප්‍රතිඵල ලැබී නැතිබවත්, කෙසේ නමුත් මිනිත්තු 30කට වරක් ජල සාම්පල පරීක්ෂා කිරීම කරන අතර විශේෂ පරීක්ෂණ සඳහා රසායනාගාර කණ්ඩායම් පැමිණෙනු ඇති බව ජල සම්පත් මණ්ඩලය සඳහන් කරයි.

වලවේ ගඟේ මෙලෙස හදිසියේ මසුන් මියයෑම සම්බන්ධයෙන් අදාළ අංශ කඩිනමින් පරීෂණ කටුයුතු කිරීම ආරම්භ කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමණසේකර සඳහන් කරයි.

අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට