පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ටෙලර් යන්ත්‍රයක් කඩා රුපියල් ලක්ෂ හැත්තෑවක සොරකමක් සිදු කිරිම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මේ මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු පාලක සජීව ජයසූරිය මහතා ඊයේ (04දා) නියෝග කළේය. 

කටියාව, එප්පාවල හා පල්ලම පුත්තලම ලිපිනයන්හි පදිංචි 29 හැවිරිදි අයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මොහු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලට මුදල් ප්‍රවාහනය කරන ප්‍රකට සමාගමක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවත් විවාහ තුනක් සිදු කරගෙන ඇති බවටද අනාවරණය වී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්.කේ යසර මහතා කියා සිටියේ සැකකරු අනුරාධපුර හෙද විදුහල ආසන්නයේ පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය බිදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරමින් සිටියදී ඔහු පොළොන්නරුව මින්නේරිය යුදහමුදා කදවුර ආසන්නයේ වූ ටෙලර් යන්ත්‍රය බිද රුපියල් ලක්ෂ 70ක් සොරා ගැනීමට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. මෙම සැකකරු බැංකු ටෙලර්යන්ත්‍ර සදහා මුදල් රැගෙන යන ආයතනයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවත් ඔහු ගෑස් කටර් ඇතුළු මෙවලම් යොදාගෙන ටෙලර් යන්ත්‍ර අලුත්වැඩියා කරන ආකාරයට ඒවායේ සේප්පු බිඳ තිබෙන බව පොලීසිය අධිකරණයට දැන්වීය.

අනුරාධපුර හෙද විදුහල ආසන්නයේ පිහිටි යන්ත්‍රය බිදීමට ඔහු ගත් උත්සාහය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැළකි ඇති බව පොලීසිය අධිකරණයට දැන්වුවේය.සැකකරු විසින් කුඩා ලොරි රථයකින් මෙවලම් රැගෙන ගොස් ටෙලර් යන්ත්‍ර බිද තිබෙන බවත් ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී මින්නේරිය මෙන්ම අනුරාධපුරයේ ටෙලර් යන්ත්‍ර බිදීමට ඔහු සම්බන්ධ වී ඇති බවට තහවුරු කරගත පුත්තලම පොලිස් වසමේ පල්ලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකරු විසින් සිදු කළ ටෙලර් යන්ත්‍ර බිදීමෙන් පසුව එම සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 70ක් සොරා ගෙන ඇති බවත් එම මුදල්වලින් රුපියල් ලක්ෂ 24ක් උපයෝගි කරගත කුඩා ලොරි රථයක් තවත් රුපියලක් ලක්ෂ නමයක් යොදාගෙන අධිවේගි යතුරුපැදියක් හා නිවසට අවශ්‍ය උපකරණ රැසක් මිලදී ගෙන ඇති බවත්



ඒවා නඩු භාණ්ඩ ලස අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු නිවසේ සගවා තිබී සොයාගත් මුදලින් රුපියල් 29ලක්ෂ අසූ දහසක් පොලිසිය සොයා ගෙන තිබෙ බවත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පොලීසිය අධිකරණයට දැන්වීය. පොළොත්නරුව මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්නයේ වූ මුදල් යන්ත්‍රය බිදීම සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියට අවශ්‍යව සිටින සැකකරු ඉදිරී නඩු දිනයේදී පොළොන්නරුව අධිකරණයේ පැවත හදුනා ගැනීමේ පෙරට්ටුවට අවශ්‍ය බැවින් ඔහුව ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරයාට නියෝග කළේය. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී වැඩිදුර වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස විනිසුරුවරයා පොලීසියට වැඩිදුරටත් නියෝග කළේය.

(අනුරාධපුර - බී.ජී.චතුරංග)