southern-province-school-open

රජයේ බලධාරීන් පවසන ආකාරයට මේ මස 21 වැනිදා පාසල් නැවත විවෘත කිරීමට සුදානම් වනවා නම් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් නොමැතිව එය විවෘත කරන්නේ කෙසේද යන සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා ප්‍රශ්න කර සිටී. 



ඔහු මේ බව පවසා සිටියේ 14 දා මහනුවරදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් තිලකරත්න මහතා,"රජය පවසන ආකාරයට අනධ්‍යයන සේවකයන් නොමැතිව පාසල් විවෘත කරන්නේ කෙසේද කියා අපි ප්‍රශ්න කර සිටිනවා. අපේ ගැටලුවලට විසඳුම් නොමැතිව පාසල් විවෘත කිරීමට යාම හේතුවෙන් බරපතළ ගැටලු ඇති විය හැකියි.

එම නිසා අපි රජයට කියා සිටින්නේ වාචාල කතා නොකියා අපේ ප්‍රශ්නවලට සාධනීය ලෙස මැදිහත් වන්න කියා. එසේ නොමැතිව වෘත්තීය සමිති මහපාරට තල්ලු කරන්න එපා කියලත් අපි රජයට කියා සිටිනවා.

අධ්‍යාපන අනධ්‍යයන සේවයේ ගැටලු සම්බන්ධයෙන් මීට වසර 08කට පෙර කිසිදු මුදලක් වැය නොවී විසදිය හැකි ගැටලු 07ක් අපි බලධාරින්ට ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රශ්න ටික විසඳා දෙනවා නම් අපි කැමතියි සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වප්න. ඒ සඳහා ඇමතිවරයාගේ විෂය පථය අදාළ නැහැ. අපි වෘත්තීය සමිතියක් වශයෙන් කිසිදු දේශපාලන නඩයට හෝ දේශපාලන බලවේගයකට කඩේ යන්නේ නැහැ.

එසේම අපී අධ්‍යාපනයට දේශපාලන රැගෙන ඇවිත් නෑ කියලත් කියා සිටිනවා. කිසිදු මුදලක් වැය නොවන එම ප්‍රශ්න 07 විසඳා දෙනවා නම් අපි කැමතියි පියවර දෙකක් පිටුපසට යන්න. එසේ නොමැතිව පාසල් විවෘත කිරීමට බලධාරීන් පියවර ගන්නවා නම් බරපතළ ගැටලු රැසක් ඇති විය හැකියි. පාසල් ගේට්ටුවේ සිට පාසල් ගොඩනැගිලි, පාසල් භූමිය, කාර්යාලය ඇතුළු පවිත්‍රතා කටයුතු පවා සිදු කරනු ලබන්නේ අනධ්‍යයන සේවකයන් විසින්” යනුවෙන් පැවසීය.

(ෂේන් සෙනෙවිරත්න)