tedros-who-speaks

ලොව පොහොසත් රටවල් තම ජනතාව සදහා COVID-19 මර්දන තෙවැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදීම වර්ෂ 2022 වනතුරුවත් කල් දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රෙයේසුස් පවසයි. පසුගිය බදාදා දිනයේදී ජිනීවා නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා තිබේ.  විශේෂයෙන්ම ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් 40%කට මෙම COVID-19 මර්දන එන්නත් ලබාදීම සාර්ථක කරගන්නා තෙක් පොහොසත් රටවල් සිය ජනතාවට බූස්ටර් එන්නත ලබා නොදිය යුතුය යන්න ඔහුගේ අදහස වී ඇත.කෙසේ වෙතත් මීට පෙර අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ මෙවැනිම ඉල්ලීමක් එම රටවල් විසින් නොසලකා හැරි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

"ලෝකයේ එන්නත් සැපයුම් පාලනය කරන සමාගම් සහ රටවල් හිතනවා නම් දුප්පත් රටවල් තමන්ට ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙන්න ඕනේ කියලා, මම එවැනි අවස්ථාවකදී නිහඩව ඉන්නේ නැහැ. මොකද පහළ හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කිසිවිටෙක දෛවැනි හෝ තෙවැනි ප්‍රමුඛතාවට ලක්විය යුතු නැහැ.” ඔහු පවසා ඇත.



විශේෂයෙන්ම එම රටවල සිටින සෞඛ්‍ය සේවකයන්, වයස්ගත පුද්ගලයන් මෙන්ම අනෙකුත් අවදානම් සහිත පුද්ගලයන්ටත් ලොව පොහොසත් රටවල වෙසෙන එවැනි පිරිස් වෙත හිමිවිය යුතු අයිතිවාසිකම එලෙසින්ම ආරක්ෂා කළ යුතුය යන්න ඔහුගේ අදහස වී තිබේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර ලොව පොහොසත් රටවල් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීම සැප්තැම්බර් මාසය අවසන් වන තුරුවත් පමා කරන්නයි ඉල්ලා සිටියේය.

එහෙත් ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පොහොසත් රටවල් දැනටමත් සිය ජනතාව වෙත මෙම තෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට සැලසුම් කර තිබේ.