pcr-airport

එළඹෙන ඔක්තෝබර් මස 1 වනදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා පනවා තිබු මාර්ගෝපදේශ මාලාව යාවත්කාලින කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කටයුතු කර ඇත.



ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහාම ක්‍රියාත්මක කෙරෙනු ඇත,

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.



එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකිය.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර ඇත.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඔක්තෝබර් මස 1 වන දා සිට බලාත්මක කෙරෙනු ඇත.