ශ්‍රී ලංකාවේ ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම්, ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු ඉතා වැදගත් දත්ත රාශියක් ඇතුළත් අන්තර්ජාල දත්ත ගබඩාව 'යම් ආකාරයකින්' ජූලි මස මුල දිනකදී මැකී ගොස් ඇති බව ඉන් සති කීපයකට පසු සමහර මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි. මේ සිද්ධිය පසුගියදා මැතිසබය උණුසුම් කරන්නට ද සමත් විය.


මෙම දත්ත මැකීයාම පිලිබදව මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ටෙලිකොම් ආයතනය මේ දත්ත මගඩිය පිටුපසින් සිටින බවට කරුණු හෙළි කළේය.


කෙසේ වෙතත එම කාරණාව විවාද සම්පන්නය.
ටෙලිකොම් වෙත චෝදනා ගොනුකරමින් මන්ත්‍රීවරයා පැවසුවේ, 'NMRA එකේ දත්ත තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ. ටෙලිකොම් ආයතනය සතුව තමයි  මේ දත්ත ගබඩාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්ලවුඩ් එක' යන්නයි. මනුෂ නානායක්කාර මේ චෝදනාව නගන්නට පෙරාතුව ටෙලිකොම් ආයතනය මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ,  ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පැවති ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබානොදෙන බවයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා දත්ත මකාදැමීමට  Dialog සමාගම සම්බන්ධ කරුණු මෙහිදී මගහැර තිබේ.
 යහපාලන ආණ්ඩුව සමයේදී මෙහි කටයුතු ඩිජිටල්කරණයට පියවර ගත් අතර එහිදී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බවටද  අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවටද චෝදනා පවතී.