kotiyakumbura-canabis

කොටියාකුඹුර ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදනය වී නිවසේ නිරෝධායනය කර සිටි යුවළකගෙන් ගංජා මිලට ගත් බව කියන තරුණයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගංජා මිලට ගත් බව කියන තරුණයන් හය දෙනා එම යුවළගේම නිවෙසේ දින 14ක් නිරෝධායනය කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පෙරේදා (20) නියෝග කළාය.

මෙලෙස ගංජා අලෙවි කරන ලද නිවෙසේ නිරෝධායනයට යොමු කොට ඇත්තේ පිංදෙනිය පොලිස් වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් හය දෙනකු බව පොලිසිය කියයි. ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පිංදෙනිය පොලිස් වසමේ කොටියාකුඹුර අපේ ප්‍රදේශයේ පස් දෙනකුගෙන් යුත් පවුලක තරුණ යුවළක් කලක සිට ගංජා අලෙවි කරන බවපොලිසිය කියයි.

මෙම තරුණ යුවළට හා මවකට ඉකුත්දා කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔවුන් සියලු සෞඛ්‍ය උපදෙස් අනුව නිවෙසේ නිරෝධායනයට යොමුකොට ඇති බවත් පොලිසිය කියයි. කොවිච් 19 ආසාදනය වීමහේතුවෙන් නිවෙස් නිරෝධායනයට යොමු කොට තිබියදී තරුණ යුවළ ගංජා අලෙවි කරන බවට තොරතුරක් ලැබුණු බවත් පොලිසිය කියයි.

පසුව ඉකුත් 19දා නිරෝධායනයට යොමු කොට තිබුණු නිවෙසට තරුණයන් හය දෙනකු ගොස් ගංජා මිලට ගෙන ආපසු එමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මග රැක සිට අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් තරුණයන් හයදෙනා පරීක්ෂා කර බැලීමේදී ග්‍රෑම් එක බැගින් වූ පැකට් දෙකක් තරුණයන් දෙදෙනකු ළඟ තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණි. සෙසු තරුණයන් සිව් දෙනාට නිරෝධායනය ඇඳිරි නීතිය හමුවේ නිරෝධායනයට ලක් කර තිබුණු නිවෙසකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුව අත්අඩංගුවට ගත් තරුණ සැකකරුවන් හය දෙනා පෙරේදා (20) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදී පොලිසියට අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව තරුණයන් හය දෙනා ඇප මත සමාජයට මුදාහැරිය හොත් කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වන බවත් කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණින් තරුණයන් හයදෙනා ගංජා අලෙවිකරුගේ නිවෙසේ නිරෝධායනයට යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය. පසුව තරුණයන් හය දෙනා අදාල නිවෙසේ නිරෝධායනයට යොමු කළ බව පොලිසිය කියයි.

(කෑගල්ල - චමින්ද වැවතැන්න)