kanthale-incident

කොරෝනා වයිරසයෙන් බැටකමින් අනාථව සිටි දැරියකගේ කන් විදීමේ චාරිත්‍රයක් ඉටුකර ඇයට පිහිට වූ දුර්ලභ අවස්ථාවක් පසුගිය දා කන්තලේ රෝහලෙන් වාර්තා වීය.  මෙම දැරිය ත්‍රිකුණාමල ශික්ෂණ  රෝහලේ දී මෙයට මාස 11ට පෙර උපත ලබා ඇති අතර 

එදිනම ඇයගේ මව බිළිඳිය රෝහල් වාට්ටුව තුළ දමා පළා ගොස් තිබුණි. මේ නිසා ඇය ත්‍රිකුණාමලයේ ළමා නිවාසයක භාරකාරිත්වයට පත්කර ඇති අතර මීට දින දහයකට පමණ පෙර දී සිඟිත්තියට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් කන්තලේ කොවිඩ් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියාය.  මේ වන විට සුවය ලබමින් සිටින මෙම සිඟිත්තියගේ කන් විදීම සිදුකර නොතිබූ බව දැනගත් කන්තලේ රෝහල් කාර්ය මණ්ඩලය සිඟිත්තියට වයස අවුරුද්දක් පිරීමට පෙර සිදුකිරීමට නියමිත කන් විදීමේ උත්සවය වාට්ටුව  තුළ දීම පැවැත්වීමට තීරණය කර තිබේ.


 ඒ අනුව වාට්ටුවේ වෛද්‍යවරුන්,  හෙද හෙදියන්, උපස්ථායක මෙන්ම සියලු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ඒ සඳහා අවශ්‍ය කරාඹු යුගලය ඇතුළු තෑගිබෝග මිලට ගෙන කන්විදීමේ උත්සවය වාට්ටුව තුළ දී ම සිදුකළහ. එම අවස්ථාවේ දී වාට්ටුව තුළ සිටි සැමදෙනා අත්පොළසන් හඬ දුන්නේ කොරෝනා වාට්ටුව ගිගුම් දෙමිනි. 

කන්තලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලයේ සහ  ප්‍රතිකාර ලබන සියලු දෙනගේ ආශිර්වාදය මැද සම්පුර්ණ සුවය ලැබූ  මෙම බිලිඳිය පෙරේදා (14) කන්තලේ මූලික රෝහලෙන් ළමා නිවාසයේ භාරකාරිත්වයට පැවරිණි.


 -කේ.ඩී. විජේපාල-