first-time-India-untouchable-caste-Chief-Minister-of-Punjab

ඉන්දියාව් පන්ජාබයේ ප්‍රථම දලිත් (අස්පර්ශක කුලයේ) මහ ඇමතිවරයා ලෙස චරන්ජිත් සිං චන්නි අද (20) දිවුරුම් දුන්නේය. පක්ෂය තුළ ඇති වූ බලවත් ආරවුලක් හේතුවෙන් හිටපු මහඇමති  අමරින්දර් සිං ඊයේ ඉල්ලා අස්වීමෙන්  පසු මෙම තනතුරට ඔහුව විවාදසම්පන්න ලෙස නම් කරන ලදි.
ඉන්දියාවේ බොහෝ දේශපාලන නිරීක්‍ෂකයින් මවිතයට පත් කළ පියවරක් ලෙස පසුගිය සතියේ සිං මහතාගේ ඉල්ලා අස්වීම සිදුවිය "මට නින්දාවක් දැනෙනවා ... මගේ වැඩ කටයුතු ගැන ඔවුන්ට විශ්වාසයක් නැති බව මට හැඟෙනවා," ඔහු ඉවත්වීමෙන් පසු පැවසීය.


අලුතින් පත්වූ 58 හැවිරිදි දලිත්  චරංජිත් සිං ට නව තනතුර ලබාදීම ඉන්දීය දේශපාලනයේ පෙරළියක් ලෙස සලකා ඇත. දැඩි ලෙස කුල පදනම සලකා දේශපාලන තනතුරු ලබාදීම් සිද්ධවන ඉන්දියාවේ ස්පර්ශ නොකරන කුලයකට
අයත් චරන්ජිත් සිං වැනි කෙනෙකු කොන්ග්‍රස් පක්ෂය මගින් නම් කිරීම මෙන්ම ප්‍රාන්තයක මහඇමති තනතුරක් ලබාගැනීම විශාල වෙනසක් ලෙස සලකා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කුල නොඉවසීම අහෝසි කර වසර හැට හතරකට පසුවත්, ඉන්දියානුවන්ගෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් පවසන්නේ ඔවුන් එය යම් ආකාරයකින් තම නිවෙස්වල තීන්දු තීරණ වලදී කුල ප්‍රශ්නය දිගටම කරගෙන යන බවය. ඒ බව මෙතෙක් සිදු වූ විශාලතම සමීක්‍ෂණයකින්ද හෙළිව ඇත.

 2014 දී එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය හා ඉන්දීය ආයතන දෙකක් එක්ව ඉන්දියාව පුරා  පවුල් 42,000 කට වැඩි ගණනක් යොදාගෙන කළ එම පර්යේෂණයේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 27 ක් කියා සිටියේ ඔවුන් යම් ආකාරයකින් කුලය අඩු අය ස්පර්ශය නොකරන්නට පුරුදු වී ඇති බවයි. මෙම පුරුද්ද බ්‍රාහ්මණ ප්‍රතිචාර දැක්වූවන් අතර බහුලව දක්නට ලැබුණි (සියයට 52). බ්‍රාහ්මණ නොවන ඉදිරි කුල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 24 ක්ම එය පිළිගත්හ.
 සමීක්ෂණයේ දත්ත වලින් පෙන්නුම් කෙරෙන්නේ සෑම හින්දු  තිදෙනෙකුගෙන් කෙනෙකු (30 %) පාහේ අඩු කුල වලට නොසැලකීම සිදු කරන අතර සික් ජාතිකයින් (සියයට 23), මුස්ලිම්වරුන් (සියයට 18) සහ කිතුනුවන් (සියයට 5 ක්) එය අනුගමනය කළ බවයි.
සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඇඟවෙන්නේ ඉහළ ආදායම් ලැබූවත් අඩු කුලයක උපන් අයෙකුවීම නිසා පිළිගැනීම අඩු බවයි. කෙසේ වෙතත් අධ්‍යාපනය තුළින් ඉහළ සාර්ථකත්වයක් ලබන්නන්ගේ කුලය අන් අයට අමතකවයාම සමීක්ෂණයේදී හඳුනාගත් විශේෂ ප්‍රතිඵලයකි.
(ඉන්දියන් එක්ස්ප්‍රස්,  බීබීසී හා ඉන්ඩියා ටුඩේ ඇසුරිනි - Gossiplankanews.com)