eliyantha-white-speaks

කොරෝනා රෝගය වැළඳීම නිසා අද (22) දින මරණයට පත්වූ ඒලියන්ත ලින්ඩ්සේ වයිට්  මීට වසර 2 කට පෙර 2019 දී තමා ගැන විස්තර රැසක් සාකච්ඡාවකදී හෙළිකර තිබුණි. එම විස්තරය පහතින්

‘මේක මං විසින්ම සොයාගත් වෛද්‍ය ක්‍රමයක්. මට කුඩා කාලයේ සිටම විශ්වය සමඟ යම් බැඳීමක්
තිබුණා. මේක මිනිසා බිහි වෙනවා සමඟත් ආපු වෛද්‍ය ක්‍රමයක්. මේක “රාවණා” යුගයට කලින් ආපු
වෛද්‍ය ක්‍රමයක්ද කියලා යමකු ඇසුවොත් ඊටත් වඩා පරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේ
වෛද්‍ය ක්‍රමයෙන් අපි කියන්නේ නාඩි ඇල්ලීමෙන්. නාඩි ඇල්ලීමෙන් කෙනකුගේ ජීවිත කාලයම කියන්න
පුළුවන්. ලෝකයේ වේගවත්ම ස්කෑන් ක්‍රමයක් වශයෙන් නාඩි කියැවීමෙන් ලබාගන්නා තොරතුරු හඳුනාගන්න පුළුවන්.
මට අවුරුදු 12දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමඟ කටයුතු කිරීමට. ඒක වැඩිදියුණු
කරලා කුණ්ඩලී ශක්තියෙන් සන්නිවේදනය විශ්වය සමඟ සිදුකරලා මේ ආශීර්වාදාත්මක වෛද්‍ය ක්‍රමය
ක්‍රියාත්මක කරනවා. මේවට ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ ඖෂධ දැනට හොයගන්නේ හිමාලයෙන්.
මේ ‘වීනපති‘ වෛද්‍ය ක්‍රමය සමාජගත කළොත් හුඟදෙනකුට මෙම ප්‍රතිකාරය ලබාගන්න පුළුවන්.
 
යම් පුද්ගලයකුගේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව නාඩි ඇල්ලීමෙන්  ඊට අදාළව විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා. ක්ෂණිකව
කනට ශබ්ද තරංගයෙන් රෝග විනිශ්චය ලබා දෙනවා.

ප්‍රධාන නාඩි ස්ථාන ඇල්ලුවාම එම නාඩි ස්ථානය සමඟ මගේ සිතට සිතුවිලි එනවා. ඒක දැනෙන්නේ මට
විතරයි. මට ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැහැ. මගෙන් පස්සේ මේ වෛද්‍ය ක්‍රමය මගේ
දුවටයි පුතාටයි පුරුදු කරගෙන යනවා.
 
ඖෂධ සොයාගැනීම තමයි මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ. ඖෂධ සොයගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව
මේ සම්බන්ධයෙන් අපේ රටට උදවු කරනවා. මේක පුරාණ කාලයෙන් සොයාගත් බෙහෙත් වට්ටෝරුවක් අනුවයි
අප ක්‍රියා කරන්නේ. මෙම ඖෂධ තියෙන්නේ ඉන්දියාවේ හිමාලය කඳුවැටි ආශ්‍රිතවයි. බොහෝ දුෂ්කර
වන්නේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව තිබෙන ඖෂධ වර්ගවල නම තෝරාගැනීමයි.
 
එදා මේ කොළ වර්ගවලට මොනවද කිව්වේ. මේ වෙනකොට මේ කොළ වර්ග හඳුනාගන්න නවීන තාක්ෂණයත්
උපයෝගී කරගන්නවා. හිමාලයෙන් මෙම ඖෂධ හොයාගෙන ගෙන්වන ඉන්දියානු ජාතිකයන් ඉන්නවා. මේවා
අති දුර්ලභ ඔෟෂධ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මං දැනට වැඩ කරන්නේ අපේ රට වගේ 62 ගුණයක්
විශාල ඉන්දියාවේ.මේ වනවිට ඖෂධවලට සංකේතයක් යොදලා තියෙනවා. එම සංකේත මාර්ගයෙන් තමයි
මේ ඔෟෂධ පැළෑටි එකතු කරන්නන් හරහා මේවා එකතු කරගන්නේ.
 
ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව මෙම ඖෂධ පැළෑටි සොයාගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය
වෙනවා. නමුත් කවදාවත් මං ප්‍රතිකාර කරන කිසිදු රෝගියකුගෙන් මුදල්
අරගෙනත් නැහැ. අරගන්නෙත් නැහැ. ඉන්දියාවේ විශාල ව්‍යාපාරිකයන් ඉන්නවා. මේ මහා පරිමාණ
ව්‍යාපාරිකයන්ගේ පවුල්වල රෝගීන්ට මං ප්‍රතිකාර කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරිකයන් විසින්
අහිංසක නැති බැරි ජනතාවටත් මේ ඖෂධ ලබාදීමෙන් උදවු කරනවා.
 
ඉන්දියාවේ මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන ඖෂධවලින් තමයි මෙරට යම් පිරිසකට නොමිලේ
ප්‍රතිකාර කරන්න මට හැකි වෙලා තියෙන්නේ. මේක මුදලට කරන්න ගියා නම් මේ ප්‍රතිකාර ක්‍රමය
මෙහෙම කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මුදල් තියෙන කෙනකුට වුවත් මේ ප්‍රතිකාරය කරන්නේ
නොමිලේ. නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රමය මට පිහිටන්නේ නැහැ.
 
මිනිසකුට හැදෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව  මට  තියෙනවා. මෙම ඖෂධවලට මගේ ආශීර්වාදය ලබාදුන් විට ඒ දෙකේම
සංකලනයෙන්, බලයෙන් ප්‍රතිකාර කරලා මට රෝග සුවකිරීමේ හැකියාව තියෙනවා. වචනවලින් එම
ඖෂධවලට බලය ලබාදුන් වහාම එම ඔෟෂධ ඉතා බලවත් වෙනවා. වතුර පිරිත් කළාම පිරිත් පැන් ඉතා
බලවත් බව අමුතුවෙන් කියන්න ඕන වන්නේ නැහැ. ඒ රෝගය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය වාර ගණන
ආශීර්වාද කරගන්නවා.
 
මගේ වෛද්‍ය ක්‍රමය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හරි විදියට තේරුම් කරලා
දෙන්න බැරිවුණා නම් මට ඉන්න වෙන්නේ මානසික රෝහලක. මං මුණගැහුණාට පසුව මාව පරීක්ෂා කරන්න
මහින්ද රාජපක්ෂ මැතිතුමා මගෙන් ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ටම මං දන්නා විදියට පිළිතුරු
ලබාදුන්නා. එම පිළිතුරුවලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑහීමකට පත්වුණා.

මේක මේ විදියට සාර්ථක
වෙනවානම් අති විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වේවි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා. ඒක
මං පසුගිය අවුරුදු කිහිපය තුළ රට වෙනුවෙන් සිදුකර පෙන්නුවා.

 මට දේශපාලන භේදයක් නැහැ. මං විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයේ ජනතා
නියෝජිතයන්ටත් බෙහෙත් සිදුකරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් හිත උණුවෙන පුද්ගලයකු මට තවමත්
මේ ලෝකයේ කිසිම රටකදී හමුවෙලා නැහැ. දැනට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් 9 දෙනකුගේ
ප්‍රධාන වෛද්‍යවරයා වශයෙන් මම ක්‍රියා කරනවා. ආරක්ෂක හේතු මත නම් කියන්න බැහැ. අනෙක්
වෛද්‍යවරුන්ට වඩා වේගවත්ව මට ලෙඩේ හඳුනාගෙන සුව කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ රටවල්
9 රාජ්‍ය නායකයන්ට සුළු අසනීපයක් හැදුණත් මට තමයි කතා කරන්නේ. ඊට අමතරව මහින්ද රාජපක්ෂ
මහතාගේත් ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මං තවම කටයුතු කරනවා. කරු ජයසූරිය කතානායකවරයා ඇතුළු
දේශපාලනඥයන් ගණනාවක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මගෙන් ප්‍රතිකාර ලබාගන්නවා.

මම හැමදාම රාජ්‍ය නායකයන් සමඟ කටයුතු කරන්නේ දැනෙන රස්නයෙන්. ගොඩක්ම ළං වෙන්නේ නැහැ.
හුඟක් ඈත් වෙන්නේත් නැහැ. ලසිත් මාලිංග හිටපු ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් 2008 වසරේදී  පාදයක දණහිසේ අමාරුවක් සඳහා මා වෙත ආවා මා සුවකළා. අවුරුදු 11කට පෙර සිදුවූ සිදුවීම මාලිංගට මතකයි. අන්න ඒ මුල අමතක නොකර ඔහු සමුගන්නා වෙලාවෙ මාව සිහිපත් කළා.
 මං එදාමාලිංගගේ නාඩි බැලුවා. නාඩි බලලා මං කිව්වා මට දවස් 5ක් දෙන්න කියලා. මං කිව්වා දවස් 5න් මාලිංගගේ කකුල හොඳ කරනවා කියලා. එතකොට මාලිංග පුදුමයෙන් වගේ මං දිහා බැලුවා. මොකද මාලිංග දන්නවා පාදයේ තිබෙන ආබාධයේ බරපතළකම. කොහොම හරි මං දවස් 3 2/1න් පාදය සුවකළා. දවස් 5ක් වෙනකොට මාලිංගට හොඳටම සුවයි.
 මට තේරුණා ඔහුට ලබාදිය යුතු ඖෂධ හා ආශීර්වාදය මොකද්ද කියලා. ඒඔ අනුව ඖෂධ ලබාදීම හා ආශීර්වාදය සිදුකළේ මට විශ්වයෙන් ලැබෙන ශක්තියක් උපයෝගී කරගනිමින්. ඒ වෙලාවේ යම් සුළු ප්‍රතිකාරයක් කළා. ඉතිරි දින 5 ප්‍රතිකාර කළේ මාලිංගගේ නිවෙසේදී.
 
ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට වැඩි වේලාවක් පිටියේ රැඳී ඉන්න බැරිවෙලා. ඔහුට කොන්දේ හා මස්පිඬුවල ආබාධයක් තිබුණා. සාමාන්‍යයෙන් සචින් පන්දුවට පහර දෙන විට ඕවර් 10ක් 15ක් යනකොට ඔහු වෙනුවට දුවන්න පුළුවන් ආදේශකයෙක් කැඳවනවා. මේක සචින්ට මානසිකව වදදුන් විශාල පීඩනයක්. ඒ නිසා සචින්ට පුළුවන් වුණා මට කියලා කෙසේ හෝ ඔහුගේ මස් පිඬුවල ආබාධය සුවකරගන්න.
සචින් තෙන්දුල්කාර් මාව සම්බන්ධ කරගන්නේ  2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරයි. මේ කාරණය සචින් තෙන්දුල්කාර් විසින් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ප්‍රකාශ කරලා තිබුණා. එක් දවසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ කාරණය දන්වලා තිබුණා. ඊට පස්සේ
දවසක මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා උදේ වරුවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දුරකථනයෙන්
කතාකරලා තියෙනවා. මන්මෝහන් සිං මහතා අහලා තියෙන්නේ සචින් තෙන්දුල්කාර්ව එවන්න ද කියලයි.
අපේ ජනාධිපතිතුමා ඕන වෙලාවක එවන්න කියලා තියෙනවා. ඊට පස්සේ පැය 4 1/2ක් විතර යනකොට
මුම්බායිවල ඉඳලා පෞද්ගලික ගුවන් යානයකින් සචින් තෙන්දුල්කාර් ඇතුළු ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු පැමිනුණා.


 ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියන්, ගායක ගායිකාවන්, සිනමා අධ්‍යක්ෂවරුන්, සංගීත අධ්‍යක්ෂවරුන් මේ
සියලුදෙනාගෙන් 75%ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නේ මගෙන්.
සංගක්කාර හැරෙන්න සෑම ක්‍රීඩකයකුම වගේ මගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. සංගක්කාරට ඒ
ආකාරයෙන් ප්‍රතිකාර ගන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. මං දිගටම ශ්‍රී ලංකාවේ ඉන්න කොට අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර කරලා සුවපත් කරලා දීලා තියෙනවා. මං මේ කිසි දෙයක් කරන්නේ ප්‍රසිද්ධිය සඳහා නොවේ.
 මහින්ද රාජපක්ෂ 2015 පරාජය වූ පසු මා වැඩිපුර ඉන්දියාවට සම්බන්ධ වුණා. මා වැඩිපුර හිටියෙ එහේ. ආරක්ෂක හේතූන් මත ඒ ගැන මට වැඩි විස්තර කියන්න අවසරයක් නැහැ. මේ
අවස්ථාවේදී ලෝකයේ ප්‍රධාන රටවල් ඇතුළු රටවල් 9ක රාජ්‍ය නායකයන්ගේ ප්‍රධාන වෛද්‍යවරයා
ලෙස මං කටයුතු කරනවා. ඒ ඇරෙන්න 2004 වර්ෂයේ සිට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
වෛද්‍යවරයා ලෙස තවමත් කටයුතු කරනවා. එම රාජ්‍ය නායකයන්ගෙන් පණිඩුවයක් ලැබුණු ගමන් මං
යනවා. ඒ නිසා මට පෞද්ගලික ගුවන් යානයක් ලබාදීලත් තියෙනවා. ඒ ප්‍රතිකාර කටයුතු, ඖෂධ
ගෙනයෑම සිදුකරන්නේ දැඩි ආරක්ෂක ක්‍රමවේදයකට නිසා උපරිම ආරක්ෂාවකුත් මට ලබාදීලා තියෙනවා.
 
මෙම වෛද්‍ය ක්‍රමයට කියන්නේ “වීනපති” කියලා. ලෝකයේ වෛකල්පිත වෛද්‍ය සභාව වීනපති වෛද්‍ය
ක්‍රමය පිළිගෙන තිබෙනවා. මේ ක්‍රමය නව පරපුරට හඳුන්වා දෙන්න මං කැමැතියි. නමුත් මගේ දැඩි
කාර්යබහුලත්වය ඊට බාධාවක් වෙලා. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
මගේ දුවත්, පුතත් මේ වෛද්‍ය ක්‍රමය හදාරමින් අදාළ විභාගවලට මුහුණ දෙමින් සිටිනවා. දියණිය ගුවන්
නියමුවරියක්. පුතා පරිගණක ඉන්ජිනේරුවෙක්. දෙදෙනාම මේ වෛද්‍ය ක්‍රමය ඉගෙන ගැනීමට කැමැතියි.
ඉස්සර වෙලාම දුව මගේ පුටුවේ වාඩිවෙයි කියලා මම හිතනවා!
 

(ඩබ්ලිව් කේ මංජු ප්‍රසාද් - මව්බිම පුවත්පතට කළ සාකච්ඡාවක් ඇසුරිනි.)